
වික්ටෝරියා ප්‍රාන්තයේ වෘත්තීමය පුහුණුව හදාරන ආධුනිකයන්ට සිය මෝටර් රථ නොමිළයේ ලියාපදිංචි කරගැනීමේ නව වැඩපිළිවෙලක් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් හඳුන්වාදී තිබෙනවා.
ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ සුදුසුකම් සහිත ආධුනිකයන්ට ලබන මස පළමුවනදා සිට මීට අයදුම් කල හැකි බවයි.
ඒ අනුව එක් අයෙකුට වසරකට ඩොලර් 865 ක පමණ මුදලක් ඉතිරි කරගත හැකි අතර සමස්ත වැඩසටහන සඳහා වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 10 ක්.

වික්ටෝරියා ප්‍රාන්තයේ වඩු කර්මාන්තය – ගඩොල් ඇල්ලීම – විදුලි කාර්මික සහ සූපවේදී යන අංශවල සීමාවාසික පුහුණුව ලබන ආධුනිකයන්ට මේ සඳහා ඉල්ලුම් කල හැකියි.
ඔවුන්ගේ මෝටර් රථය සේවා කටයුතු සඳහා අත්‍යවශ්‍ය බවට සේවා යෝජකයන් විසින් තහවුරු කරන්නේ නම් මෙම වරප්‍රසාදයට ඔවුන් සුදුසුකම් ලබනු ඇති.

සුදුසුකම් ලත් ආධුනිකයන් 12,000 කට පමණ Vic Roads වෙබ් අඩවියට පිවිස මේ සඳහා ඉල්ලුම් කල හැකි වනවා.
දැනට එවැනි ආධුනිකයන් සිය මෝටර් රථය ලියාපදිංචි කිරීමේදී සියයට 50 ක ගාස්තු සහනයක් පමණයි හිමිවන්නේ.