
යෝජිත සංක්‍රමණ නීති වෙනස්කම් යටතේ ශිෂ්‍ය වීසා සම්බන්ධ රෙගුලාසි දැඩි කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙරට පුහුණු ශ්‍රමික හිගයක් පවතින අංශවල අධ්‍යයන පාඨමාලා සඳහා ඉල්ලුම් කරන ජාත්‍යන්තර සිසුන් සඳහා ප්‍රමුඛතාවය හිමිවනු ඇති.
විදෙස් සිසුන් පැමිණීම සීමා කිරීමක් මෙමගින් අරමුණු නොකෙරෙන බවත් ශ්‍රම වෙළඳපොළට ගැලපෙන පරිදි සිසුන් හැඩගැස්වීම අපේක්ෂාව බවත් ස්වදේශ කටයුතු ඇමතිනී ක්ලෙයාර් ඔ-නිල් සඳහන් කලා.

ඇතැම් සිසුන් කෙසේ හෝ ඔස්ට්‍රේලියාවට පැමිණීමේ අපේක්ෂාවෙන් කුමන හෝ පාඨමාලාවක් සඳහා වීසා ලබාගැනීමට උත්සාහ දරන බවයි ඇය පෙන්වා දෙන්නේ.
එහෙත් ඔවුන්ට ස්ථිර වීසා ලබාගැනීමේ අසීරුතාවය සළකා බලා ෆෙඩරල් රජය විසින් මෙම තීරණය ගැනීමට අපේක්ෂා කරන බවයි ස්වදේශ කටයුතු ඇමතිනිය කියාසිටියේ.

බොහෝ දුරට ලබන ජූලි පළමුවනදා සිට මෙම නව නීති වෙනස්කම් බලාත්මක වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.
ශිෂ්‍ය වීසා ලාභීන්ට රැකියාවල නිරතවිය හැකි පැය ගණන සති 02 කට පැය 48 කට සීමා කිරීමද ජූලි 01 දා සිට බලාත්මකයි.