
වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.
ඒ 2015 සැප්තැම්බර් මාසයේදී කේසි රෝහලේදී මියගිය මානසික රෝගී කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් වරද පිළිගැනීම හේතුවෙන්.
වඩාත් අවදානමට ලක්විය හැකි රෝගියෙකුට හානියක් නොවන බව සහතික කිරීමට අපොහොසත් වූ බවට වරද පිළිගැනීමෙන් පසුව මෙම දඩ මුදල නියම කර තිබෙනවා.

රෙබෙකා වික්ටෝරියා පෝක් නම් කාන්තාව 2015 අගෝස්තු මාසයේදී මෙල්බර්න් හි ගිනිකොන දෙසින් පිහිටි කේසි රෝහලේ මානසික සෞඛ්‍ය නේවාසික ප්‍රතිකාර ඒකකයට ඇතුළත් වී තිබුණා.
අනතුරුව එම රෝහලේ නාන කාමරයක් තුලදී යි ඇය සියදිවි නසාගෙන මිය ගොස් සිටියදී හමුවී ඇත්තේ.

මෙම රෝහල 2015 අප්‍රේල් මාසයේදී අදාළ ප්‍රතිකාර ඒකකයේ රෝගීන්ට සියදිවි නසාගැනීමට ඇති හැකියාව සම්බන්ධ අවදානම විගණනය කළ අතර අමුත්තන්ගේ නාන කාමරයක් පිළිබඳ සැලකිල්ලක් දැක්වුව ද එම අවදානම ඉවත් කර තිබුණේ නැහැ.
අගෝස්තු 31 වන දින එම නානකාමරයේදී මානසික රෝගී කාන්තාව සිහිසුන්ව සිටියදී සොයා ගත් අතර දින දෙකකට පසු ඇය එම රෝහලේදීම මරණයට පත්ව තිබුණා.
මොනෑෂ් හෙල්ත් රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කරමින් වික්ටෝරියානු ප්‍රාන්ත අධිකරණ විනිසුරු ජෙරාඩ් මුල්ලි පැවසුවේ පෙර වැරදි නොමැති බැවින් එහි යහපත් ආයතනික ස්වභාවයක් පවතින බවයි.
දඬුවම නියම කිරීමෙන් පසුව, WorkSafe විධායක අධ්‍යක්ෂ ආචාර්ය නුරෙල් බියර් පැවසුවේ ඛේදජනක සිදුවීම වළක්වා ගත හැකිව තිබූ බවයි.