
අද රාත්‍රී 08 ට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ භාරවන ලෙස අභියාචනාධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට නියම කර තිබෙනවා.
එතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් වළකින ලෙසයි සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කලේ.
තමන් අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ගොනුකළ රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද සලකා බැලුණා.

ගාලූ මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාර වලට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු ලෙස නම් කර සිටින තමන්ව අත්අඩංගුවට ගැනීම වළකන ආඥාවක් නිකුත් කරන්නැයි පැමිණිලිකරු එම රීට් පෙත්සම මගින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් හිටපු අමාත්‍යවරයා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
