Search

එරෝෆ්ලොට් සිද්ධිය නිසා රුසියාවෙන් ලැබෙන ශිෂ්‍යත්ව ද අහිමිවීමේ අවදානමක්

රුසියානු එරෝෆ්ලොට් (Aeroflot) ගුවන් යානයක් ශ්‍රී ලංකාවේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් පැරණි සමාජවාදී රටවල සහ රුසියාවේ විවිධ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යයන ආයතනවලින් උපාධි ලැබූ වෘත්තිකයන්ගේ සංවිධානයක් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

සමාජවාදී රටවල ශ්‍රී ලංකා උපාධිධාරීන්ගේ සංගමය (ASLGSC) ලෙස හැඳින්වෙන මෙම සංවිධානය පෙන්වා දෙන්නේ, අප රට දැඩි ආර්ථික හා දේශපාලන අර්බුද රැසකින් පීඩා විඳිමින් සිටින අවස්ථාවක, මෙන්ම ශ්‍රී ලංකාව දැනටමත් බොරතෙල් සෘජු ආනයනය කිරීම සහ ණය සඳහා මොස්කව් නුවර සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති පසුබිමක මෙම ගුවන් යානයේ ගැටලුව හැකි වහා ම ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත් වීමෙන් විසඳා ගත යුතු බවයි.

එරෝෆ්ලොට් ගුවන් සේවාව විසින් ශ්‍රී ලංකාව වෙත බාධාවකින් තොර ව සිදු කරන ගුවන් ගමන් සම්බන්ධයෙන් පවතින විශ්වාස කළ නො හැකි තත්ත්වයක් හේතුවෙන් කොළඹ වෙත වාණිජ ගුවන් ගමන් මේ වන විට වහාම අත්හිටුවා තිබෙනවා.

මේ සමග මෙරට සංචාරයන්හි නිරතව සිටි රුසියානු සංචාරකයන් ඔවුන්ගේ සංචාර අතරමඟ අතහැර දමා නැවත රුසියාව බලා පිටත්ව ගියා.

සමාජවාදී රටවල ශ්‍රී ලංකා උපාධිධාරීන්ගේ සංගමය (ASLGSC) ජනාධිපතිවරයා හට පෙන්වා දෙන්නේ, මේ වනවිට උද්ගත ව ඇති බරපතල තත්ත්වය හේතුවෙන් 1961 වර්ෂයේ සිට සෝවියට් සංගමය සහ පසු ව රුසියාව විසින් ශ්‍රී ලංකාවට අඛණ්ඩ ව ලබා දුන් ශ්‍රී ලාංකික සිසුන් සඳහා වන ශිෂ්‍යත්ව වැඩ වැඩසටහන් ද අහිමි වීමේ අවදානමක් මේ හරහා මතුවිය හැකි බවයි.

මේ වන විටත් රුසියාව ශ්‍රී ලාංකික සිසු සිසුවියන් සඳහා වාර්ෂිකව විවිධ විෂයයන් හැදෑරීමට එරට විශ්වවිද්‍යාල තුළ ශිෂ්‍යත්ව හතළිහක් ප්‍රදානය කරනවා.