ගාලු මුවදොර විරෝධතාවට එරෙහිව පොලීසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ – AusLanka TV – Australian News for the Sri Lankan community

ගාලු මුවදොර විරෝධතාවට එරෙහිව පොලීසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

ගාලු මුවදොර විරෝධතාවට එරෙහිව පොලීසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට එරෙහිව ගාලු මුවදොර පිටියේදී විරෝධතාවයේ නිරත පිරිසට ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමෙන් වළකින්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස කොටුව පොලීසීය කළ ඉල්ලීම, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එම්.ඒ. ප්‍රභාකරන් අද (23) ප්‍රතික්ෂේප කර තිබේ.

එම විරෝධතාවය මෙහෙයවන 16 දෙනෙකුගේ නම් අධිකරණයට ඉදිරිපත් කරමින් කොටුව පොලීසීය පෙන්වා දුන්නේ, පුරා දින ගණනාවක් තිස්සේ දහස් සංඛ්‍යාත පිරිසක් ගාලු මුවදොර පිටියේ රැස්වී විරෝධතාවක නිරතවීමෙන් දැඩි මහජන පීඩාවක් මෙන්ම පොදු දේපොළවලට හානි කිරීමේ ප්‍රවණතාවක් පවතින බවය.

එම විරෝධතාවට එරෙහි පිරිස සහ විරෝධතාකරුවන් අතර යම් ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බව ද අධිකරණයට පෙන්වා දුන් කොටුව පොලීසීය, එම විරෝධතාව මෙහෙයවන 16 දෙනාට සුදුසු නියෝගයක් දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

යම් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් හෝ මහජන පීඩාවක් සිදුවීමට පෙර විරෝධතාකරුවන්ට නියෝග පැනවීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා, එවැනි නීතිවිරෝධී ක්‍රියාවක් වන්නේ නම් පොලිස් ආඥා පනත අනුව නිසි පියවර ගැනීමේ බලය පොලිසීයට හිමි බව ද, කොටුව පොලීසියට පෙන්වා දෙන ලදී .

විරෝධාතකරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා අධිකරණයට නීතිඥයින් විශාල පිරිසක් පැමිණ සිටි බව ද අප වාර්තාකරු සඳහන් කළේ ය.

COMMENTS