
ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත් වැඩසටහන හේතුවෙන් 2021 වසරේ අගෝස්තු මාසයේ සිට 2022 වසරේ ජූලි මාසය අතර කාලසීමාව තුල නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමණක් පුද්ගලයින් 20,000කට ආසන්න පිරිසකගේ ජීවිත බේරා ගැනීමට හැකිව ඇතැයි වාර්තා වනවා.
මොනෑශ් විශ්ව විද්‍යාලය මගින් කළ නවතම අධ්‍යයනයකට අනුව අදාළ මාස 12 තුළ ප්‍රාන්තයේ වයස අවුරුදු 50ට වැඩි ජනගහණයෙන් 17760 දෙනෙකුගේ මරණ වැලැක්වීමට එන්නත් මගින් හැකිවී ඇති බවයි පැවසෙන්නේ.
එම කාලසීමාව තුළ කොවිඩ් උවදුර රට පුරා වේගයෙන් ව්‍යාප්ත වූ අතර නව කොවිඩ් උප ප්‍රභේද ද ව්‍යාප්ත වෙමින් පැවතුණා.

අදාළ කාලය තුළ නිසි පරිදි එන්නත් ලබා නොගත්තේ නම් ප්‍රාන්තයේ වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයින් 21250ක් වෛරසයෙන් මිය යෑමට වැඩි ඉඩක් පැවති බව එහිදී තහවුරු වී තිබෙනවා.
වයස අවුරුදු 50 හෝ ඊට වැඩි එන්නත් නොකළ පුද්ගලයින් කොවිඩ් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින්ට වඩා වෛරසයෙන් මියයාමේ සම්භාවිතාව අට ගුණයකින් වැඩි බවයි වාර්තා වී ඇත්තේ.

තවද කොවිඩ් මාත්‍රා තුනක් ලබා ගත් පුද්ගලයින් මියයාමේ සම්භාවිතාව 11 ගුණයකින් අඩුවී ඇති බව ද සොයාගෙන තිබෙනවා.
මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥ මහාචාර්ය ටෝනි බ්ලේක්ලි පැවසුවේ ඔස්ට්‍රේලියාවේ නිසි වැඩපිලිවෙලක් යටතේ කොවිඩ් එන්නත් ලබාදීමෙන් සිදුවීමට ගිය ජීවිත හානි රැසක් අවම කර ගැනීමට හැකිවූ බවයි.