
නගරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී නොසන්සුන්තාවයක් හේතුවෙන් අද රාත්‍රියේ සිට ඇලිස් ස්ප්‍රින්ග්ස් හි තරුණයන් සඳහා ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
ඊයේ රාත්‍රියේ පිහි සහ ආයුධ රැගත් විශාල පිරිසක් අවන්හලකට පහර දී තර්ජනාත්මක ලෙස වීදිවල හැසිරීමත් සමගයි නොසන්සුන්තාව හටගෙන ඇත්තේ.
මෙම ඇඳිරි නීතිය, ඇලිස් ස්ප්‍රින්ග්ස් හි වයස අවුරුදු 18ට අඩු සියලු දෙනාට අදාළ වන අතර එය ඉදිරි දින 14 තුළ සවස 6 සිට උදෑසන 6 දක්වා ක්‍රියාත්මක වනු ඇති.

නොර්තන් ටෙරිටරි ප්‍රධාන අමාත්‍ය ඊවා ලොව්ලර් (Eva Lawler) පැවසුවේ ඇඳිරි නීතිය කඩ කරන කිසිවකුට දඬුවම් පැනවීමක් සිදු නොවන අතර වයස අවුරුදු 18ට අඩු ඕනෑම අයෙක් නගර මධ්‍යයේ සිටියදී හසු වුව හොත් නිවසට හෝ ආරක්ෂිත ස්ථානයකට රැගෙන යන බවයි.
ඇඳිරි නීති කාලය තුල ප්‍රදේශයේ ආරක්ෂාවට අමතර පොලිස් නිලධාරීන් 50 කට වැඩි පිරිසක් ද යෙදවීමට නියමිතයි.

ඇලිස් ස්ප්‍රින්ග්ස්හි නගරාධිපති මැට් පැටර්සන් පැවසුවේ ඊයේ ඇති වූ ප්‍රචණ්ඩත්වයෙන් පසු පොලිසිය පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ආයුධ 50ක් ද සිය භාරයට ගෙන ඇති බවයි.
තමා පසුගිය මාස 12 තුළ ප්‍රදේශයේ සහ ෆෙඩරල් ආන්ඩුවලින් වැඩි පොලිස් ආරක්ෂාවක් ඉල්ලා සිටි අතර එම ඉල්ලීමට ඊයේ ගැටුම ප්‍රධාන උදාහරණයක් බවයි පැටර්සන් පෙන්වා දුන්නේ.
මෙම ගැටුම්කාරී තත්වය පසුගියදා සොරකම් කළ බව කියන මෝටර් රථ අනතුරකින් 18 හැවිරිදි තරුණයෙකු මිය යාමේ සිදුවීම සමග සම්බන්ධ බවට සැක කෙරෙනවා.