
කුවේට් රාජ්‍යයේ රැකියාවක නිරතව සිටියදී වෙඩි වැදීම හේතුවෙන් තුවාල ලබා අසරණ වී සිටින ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳ තොරතුරු වාර්තා වනවා.
මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ රාජාංගණය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 44ක දෙදරු පියෙක්.
ඔහු 2022 වසරේ ඔක්තෝබර් 25 වනදා කුවෙට් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබුණේ ඊට පෙර අවස්ථා කිහිපයකදී ම එරට රැකියාවල නිරතව ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුවයි.

කුවෙට් හි ජහරා ප්‍රදේශයේ හෝටලයක ආහාර බෙදාහරින්නෙකු ලෙස කටයුතු කළ මෙම ලාංකිකයා පසුගිය ජනවාරි මස 9 වනදා අලුයම 4ට පමණ ආහාර ඇණවුමක් ලබා දීම සඳහා පිටත්ව ගොස් තිබුණා.
ඔහු ආහාර භාරදිය යුතු ස්ථානය සහ මාර්ගය නිවැරදි නොවීම හේතුවෙන් එම ඇණවුම ලබා දීම ප්‍රමාද වී ඇති බවටයි වාර්තා වූයේ.

ඒ හේතුවෙන් ආහාර ඇණවුම භාරදුන් පුද්ගලයා උරණ වී මෙම පුද්ගලයාට බැණ වැදී ඇති අතර, එම අවස්ථාවේදී වෙනත් වාහනයකින් පැමිණි කිසියම් පුද්ගලයෙකු ඔහුට වෙඩි තබා තිබෙනවා.
ඉන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයා ශල්‍යකර්මයකට ද භාජනය කර ඇති අතර, මේවන විට ඔහු දැඩි ලෙස රෝගාතුරව සිටින බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම පුද්ගලයාගේ බිරිඳ සඳාහන් කළේ තම පවුලට වෙනත් ආදායම් මාර්ගයක් ද නොමැති බැවින් ඉතා අපහසුවෙන් ජීවත් වන බවයි. තම සැමියාට සාධාරණයක් ඉටු කර හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන්වා දෙන ලෙසටයි ඇය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ.