Search

ගෝඨාභය හෙට හෝ අනිද්දා ආපසු ලංකාවට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට හෝ අනිද්දා ආපසු පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.

ඒ තමන් ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු මාලදිවයින, සිංගප්පූරුව හරහා තායිලන්තයට ගොස් එහි සති කිහිපයක් ගත කිරීමෙන් පසුවයි.

ගෝඨාභය රාජපක්ෂ මෙරටට පැමිණි පසු හිටපු ජනාධිපතිවරයෙකුට හිමි වරප්‍රසාද හිමිවනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් සඳහන් කළා.

හිටපු ජනාධිපතිවරයා (24) දිවයිනට පැමිණීමට නියමිතව තිබුණි.

එහෙත්, රොයිටර් පුවත් සේවය පවසන්නේ සැප්තැම්බර් මස මුල් සතිය වනතුරු ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයේ රැඳී සිටිනු ඇති බවයි.

ආරක්ෂාව තහවුරු කළහොත් ඊට පෙර වුව ද හිටපු ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙනු ඇතැයි එම වාර්තාවේ සඳහන් ය.

තායිලන්තයේ රැඳී සිටීම සඳහා වැය වන අධික වියදම්, හිටපු ජනාධිපතිවරයාගේ ලංකා ගමන ඉක්මන් කිරීමට හේතුවී ඇතැයි ද රොයිටර් පුවත් සේවය සඳහන් කළේ ය.

මේ අතර හිටපු ජනාධිපතිවරයෙකුට නීතියෙන් සම්පාදනය කර ඇති වරප්‍රසාද හා පහසුකම් ගෝඨාභය රාජපක්ෂට ද හිමි විය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දී තිබේ.