
සමගි ජන සන්ධානයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (10) පැවැත්වීමට නියමිතව තිබේ.
එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ, සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සහ මතුවී ඇති දේශපාලන තත්ත්වය, ඉදිරියේදී ගත යුතු කඩිනම් දේශපාලන තීන්දු රැසක් ගැනීමේ අරමුණින් අද පෙරවරුවේ එම රැස්වීම පැවැත්වෙන බවයි.
සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකිම්, දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නායක මනෝ ගනේෂන්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදින් ඇතුළු සමගි ජන සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයින් මෙම විශේෂ පක්ෂ නායක රැස්වීමට සහභාගිවීමට නියමිතය.

මේ අතර ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ 9 කණ්ඩායමේ නායකයින්ගේ හමුවක් අද පැවැත්වීමට සැලසුම් කර ඇත.
සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උපසභාපති වීරසුමන වීරසිංහ සඳහන් කළේ ය.

ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ඉල්ලා සිටින්නේ නම් කඩිනමින් ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තුව රැස් කිරීමට තමා සූදානම් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන කියා සිටියේය.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ ලබන බදාදා (13) ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කර තිබේ.