
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
එහි දැක්වෙන්නේ රට තුළ තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන විධායක ජනාධිපති ධුරයෙන් වහාම ඉවත් වන ලෙසයි.
ඩලස් අලහප්පෙරුම, චන්න ජයසුමන, නාලක ගොඩහේවා, චරිත හේරත් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් එම ලිපිය යොමුකර තිබෙනවා.

අදාළ ලිපිය යොමු කරමින් එම මන්ත්‍රීවරු පිරිස ජනාධිපතිවරයාට කියා සිටින්නේ, 2019 නොවැම්බරයේ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය සඳහා ඔවුන් අවංකව ම කැප වූ බවත්, මේ වන විට අති බහුතරයක් ජනතාවගෙන් ජනාධිපතිවරයා කෙරේ ඇති විශ්වාසය බිඳ වැටී තිබෙන බවයි.
ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන, පැහැදිලි බහුතරයක් දිනාගත හැකි, දූෂණ චෝදනා නොමැති පරිනත මන්ත්‍රීවරයෙකුට ජනාධිපතිවරයාගේ තනතුර බාර දෙන ලෙසත් අදාළ ලිපිය මගින් ඉල්ලා සිටිනවා.

පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර කඩිනම් විසඳුමකට පැමි”ම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා.
පාර්ලිමේන්තුව කැඳවන ලෙසද ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කලේ.
රටේ සමස්ත ජනතාව ඉල්ලා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂටත්,වර්තමාන ජන වරමක් නැති අගමැතිවරයාටත් යන දෙදෙනාටම ඉල්ලා අස්වී ගෙදර යන ලෙස බැවින්,දැනට අනීතික ව අගමැතිකම් කරන රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවනු ලබන සාකච්ඡාවලට සමගි ජන බලවේගය සහභාගි නොවන බව සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක දන්වා සිටිනවා.
කොළඹ විරෝධතා අතරතුරදී තුවාල ලැබු 39 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඉන් 03 දෙනෙකුගේ තත්වය අසාධ්‍ය බවයි රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කලේ.