Search

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

පිහියකින් සන්නද්ධව සිටි පුද්ගලයෙකු එම කාන්තාව සිටි මෝටර් රථයට නැග පරිගණකයන් මිලදී ගෙන දෙන ලෙසට පවසා වෙළඳසල් වෙත බලහත්කාරයෙන් රිය ධාවනය කරවාගෙන ඇති බවයි පැවසෙන්නේ.

ඊයේ සවස 6ට පමණ මෙම කාන්තාව රොව්විල් හි ස්ටඩ් පාර්ක් ෂොපින් සෙන්ටර් රථ ගාලේ තම වාහනය නතර කර යන අවස්ථාවේදී සැකකරු පිහියක් රැගෙන ඇය වෙත පැමිණ තිබුණා.

තමා සහ දියණිය අතහැර අනෙක් සියලුදේ රැගෙන යන ලෙසට එම පුද්ගලාගෙන් ඉල්ලා සිටින ද ඔහු කාන්තාවට අවධාරණය කර ඇත්තේ තමා සමග මෝටර් රථයට නැග එය පදවන ලෙසටයි.

එම නියෝගයට අනුව ඇය මෝටර් රථය පදවාගෙන ගොස් ඇති අතර සැකකරු සමග ගිප්ස්ලන්ඩ් අධිවේගී මාර්ගයේ වෙළඳසැලකට ගොස් පරිගණකයක් මිලදීගෙන තිබෙනවා.

ඇය දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් සොයා බැලූ ඇයගේ සැමියා දුරකථනය ඇති ස්ථානය සොයාගෙන පැමිණ ඇති අතර එහිදී සැකකරු දියණිය ප්‍රාණ ඇපයට ගනිමින් එම ස්ථානයට ළගා නොවන ලෙසට දැනුම්දී ඇතැයි සඳහන්.

පසුව සැකකරු කාන්තාව සමගින් පළා යන අතර ඇයගේ දුරකථනය මෝටර් රථයෙන් ඉවතට විසි කර තිබුණා.

අනතුරුව සැකකරු කාන්තාව රැගත් මෝටර් රථය ඩැන්ඩෙනොන්ග් ප්‍රදේශයේ නතර කර ප්‍රකාශ කර ඇත්තේ දියණිය නිවසට රැගෙන යන ලෙසයි.

ඇය වහාම අසල තිබූ වෙළඳ සැලකට ගොස් ආරක්ෂාව ඉල්ලා තිබුණා.

රහස් පරීක්ෂක ජ්‍යෙෂ්ඨ කොස්තාපල් ජොනතන් මිනෙහාන් පැවසුවේ මෙම කාන්තාව ඉලක්ක කිරීමට පෙර අපරාධකරු පැයක පමණ කාලයක් ස්ටඩ් පාර්ක් ෂොපින් සෙන්ටර් රථ ගාලේ සැරිසරා ඇති බවයි.

මෙම අපරාධකරු වයස අවුරුදු 20ත් 35 ත් අතර වයසේ පසුවන ආසියානු ජාතිකයකු ලෙස පොලිසිය විසින් පැහැදිළි කර තිබෙනවා.

මෙම පුද්ගලයාගේ සීසීටීවී දර්ශන පොලිසිය විසින් නිකුත් කර ඇති අතර තොරතුරු දන්නා ඕනෑම අයෙකුට ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙසටයි වික්ටෝරියා පොලිසිය ඉල්ලා ඇත්තේ.