මැති – ඇමති නිවාස රැසකට පහරදෙයි / වෙල්ගමටත් තුවාල – AusLanka TV – Australian News for the Sri Lankan community

මැති – ඇමති නිවාස රැසකට පහරදෙයි / වෙල්ගමටත් තුවාල

මැති – ඇමති නිවාස රැසකට පහරදෙයි / වෙල්ගමටත් තුවාල

රජයේ අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රැසකගේ නිවාසවලට ඊයේ රාත්‍රිය වනවිටත් ප්‍රහාර එල්ල වුණා.

ඇතැම් නිවාස ගිනි තබා තිබූ අතර තවත් නිවාස ගණනාවකට ගල්මුල් ප්‍රහාර එල්ලවූ බව සඳහන්.

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ, – ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, ශාන්ත බණ්ඩාර – බන්දුල ගුණවර්ධන – අරුන්දික ප්‍රනාන්දු – රෝහිත අබේගුණර්ධන යන අයගේ නිවෙස් සහ කාර්යාල වෙත ඊයේ විවිධ ප්‍රහාර එල්ල වී තිබුණා.

මේ අතර කුපිත වූ පිරිසක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාකුඹුර පිවිසුම අසලදී පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ට පහරදී තිබුණා.

ඔහු සුලු තුවාල සහිතව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරුණු බවයි පොලිසිය කියාසිටියේ.

වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවස අසලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 08 දෙනෙකු තුවාල ලබා තිබුණා.

පොලීසිය පවසන්නේ තුවාල ලැබූ පුද්ගලයින් වීරකැටිය රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහල දක්වා මාරුකර යැවූ බවයි.

මේ අතර කොළඹ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් තුවාල ලබා ජාතික රෝහලට ඇතුලත් කර ඇති සමස්ත තුවාලකරුවන් සංඛ්‍යාව 183 ක් දක්වා ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

COMMENTS