
දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයෙන් ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් තනා රජයේ මුදල් අවභාවිත කලැයි කියන සිද්ධියට අදාළව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ට එරෙහි නඩුවේ මින් ඉදිරියට සාක්ෂි විමසීමක් සිදු නොකරන බව රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ශනිල් කුලරත්න ගම්පහ මහාධිකරණය වෙත අද දැනුම් දුන්නා.
පළමු සාක්ෂිකරු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් කර නොමැති බවත් ලබාදී ඇති ප්‍රකාශයේ අත්සන පිළිගත නොහැකි බවත් සාක්ෂි දෙමින් පවසා සිටින හෙයින් එම තීරණය ගන්නා බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියාසිටියේ.
ඉදිරියේදී මෙම නඩුවට අදාළව සාක්ෂි මෙහෙයවීම සිදු නොකරන බවත් පැමිණිල්ලේ නඩුව අවසන් කරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මහාධිකරණය හමුවේ සඳහන් කලා.

ඉන් අනතුරුව සිතාසි මත මහාධිකරණය හමුවේ පෙනීසිටි සාක්ෂිකරුවන් මහාධිකරණය මගින් මුදා හරිනු ලැබුවා.
පැමිණිල්ල විසින් නඩුව අවසන් කර ඇති හෙයින් තම සේවාදායකයින් චෝදනා වලින් නිදහස් කරන ලෙස සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥයන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට අදාළ තීන්දුව මැයි මස 13 වෙනිදා ට කල් තබිූ බවයි අධිකරණ වාර්තාකරු කියාසිටියේ.