
ජපාන ආගමන බළධාරීන්ගේ භාරයේ සිටියදී මියගිය ශ්‍රී ලාංකික තරුණියගේ පවුලේ ඥාතීන් විසින් ජපාන ආගමන විගමන බළධාරීන්ට එරෙහිව අපරාධ නඩුවක් ගොණුකර තිබෙනවා.
ඇයට ප්‍රමාණවත් වෛද්‍ය පහසුකම් නොදීම හමුවේ මෙම මරණය සිදුවූ බව දක්වමිනුයි මෙම නඩුව ගොණු කර ඇත්තේ.
33 හැවිරිදි වියෙහි පසුවූ විශ්මා සඳමාලි නම් තරුණිය වීසා කාලය ඉක්මවා ජපානයේ රැඳී සිටීම හමුවේ පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට ජපාන ආගමන බළධාරීන් භාරයේ පසුවු අතර මෙම වසරේ මාර්තු මාසයේදී මරණයට පත්වුණා.

මෙම සිදුවීම ජපාන සංක්‍රමණ නීති පිළිබඳ දැඩි කථාබහක් නිර්මාණයට සමත්වූ අතර ගෙන ඒමට නියමිත වූ නව නීති මාලාවක් හකුලා ගැනීමට පවා ජපාන බළධාරීන්ට සිදුවුණා.
2017 වසරේ ශිෂ්‍ය වීසා මත ජපානයට පැමිණ තිබූ විශ්මා සඳමාලි 2020 වසරේදී ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව සිදුවීමක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේදීයි ජපාන බළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ.

අනතුරුව ඇය නගෝයා නුවර රැඳවුම් මධ්‍යස්ථානයක රඳවනු ලැබ සිටියදීයි මරණයට පත්වූයේ.
මෙම මරණය ජපානය තුළ දැඩි ආන්දෝලනයක් ඇති කලේ ශ්‍රී ලාංකික තරුණියට නිසි ආහාර සහ වෛද්‍ය පහසුකම් නොලැබුණු බවට වාර්තා පළවීමත් සමගයි.