
මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ අලෙවිසැල් දෙකක් ගිනිගෙන විනාශ වීමෙන් පසු පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඊයේ අලුයම 4.15ට පමණ සහ 1.19ට පමණ මෝර්ගන් කෝට් සහ බ්ලෙයර්හි පිහිටි අලෙවිසල් දෙකක් මෙලෙස ගිනිගෙන විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
ගින්නට නිශ්චිත හේතුවක් තවමත් නිශ්චය කර නොමැති අතර පොලිසිය එය සැක සහිත ලෙස සලකා විමර්ශන සිදු කරන බව වික්ටෝරියා පොලිසියේ ප්‍රකාශිකාවක් සඳහන් කළා.

මෙල්බන් නගරය පුරා ව්‍යාපාරවලට ගිනි තැබීම් මාලාවකින් පසුව මෙම දුම්කොළ අලෙවිසැල් ගිනි ගැනීම් වාර්තා වී තිබෙනවා.
අපරාධ කණ්ඩායම් අතර පවතින ආරවුල් මෙම ගිනි තැබීම්වලට සම්බන්ධ ද යන්න විමර්ශනයට කාර්ය සාධක බලකායක් ද පිහිටුවා ඇතැයි සඳහන්.

පසුගිය බ්‍රහස්පතින්දා මෙල්බර්න් තදාසන්න ප්‍රදේශයක් වන ෆෝක්නර් හි ව්‍යාපාරයක ගින්නක් ඇතිවීමෙන් පසු ඊයේ අවුරුදු 19 සහ 35 වයස්වල පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු වෙළඳසැලට පෙට්‍රල් වත් කර ගිනි තබා ඇත්තේ සොරකම් කළ මෝටර් රථයකින් පැමිණ බවයි පැවසෙන්නේ.
දුම්කොළ අලෙවි කරන ව්‍යාපාර ඉලක්ක කර ගනිමින් ෆෝක්නර් ගින්න ද ඇතුළුව පසුගිය සතිය තුළ ඇති වූ ගිනිගැනීම් අටක් පිළිබඳව වික්ටෝරියා පොලිස් කාර්ය සාධක බලකාය විමර්ශනය කරමින් පවතිනවා.
නීතිවිරෝධී දුම්කොළ වෙළඳාමට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ විමර්ශනයට පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී පිහිටුවන ලද කාර්ය සාධක බලකාය වික්ටෝරියා ප්‍රාන්තයේ සැකකරුවන් 58 අත්අඩංගුවට ගෙන ගිනි තැබීම් 51 ක් විමර්ශනය කර ඇති බව සඳහන්.