
ලොවපුරා කොවිඩ් රෝගීන්ගේ පැතිරීම ඉදිරියේදී තවත් වේගවත් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කර තිබේ.
එයට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ පැතිරීම වේගවත් කරන ඩෙල්ටා ප්‍රභේදයයි.
මේ වනවිට ලොව පුරා කොවිඩ් ආසාදිතයින් 19 කෝටි 43 ලක්ෂය ඉක්මවා ඇති අතර නොබෝ දිනකින් එය කෝටි 20 ඉක්මවා යනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

මේ වනවිට ලොව රටවල් හා පාලන කලාප 124කට ව්‍යාප්ත වී ඇති ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය, ඉදිරි මාස කිහිපයේදී ගෝලීයව ව්‍යාප්ත වන ප්‍රධානතම වෛරස ප්‍රභේදය බවට පත්වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
ඒ අනුව සති කිහිපයක් වැනි කෙටි කාලයක් තුළදී ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කෝටි විස්ස ඉක්මවා යනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකතනය කර තිබේ.

නව ආසාදිතයන්ගේ කැපීපෙනෙන ඉහළ යෑමක් පෙන්නුම් කර ඇති කලාප වන්නේ යුරෝපය සහ බටහිර පැසිෆික් කලාපයයි.
ආසාදිතයන් ඉහළ ගියද දෛනික මරණ සංඛ්‍යාව අඩු අගයක පවතින බැවින් ඇතැම් යුරෝපා රටවල් සංචරණ සීමා ලිහිල් කර තිබේ.
විදෙස් වාර්තා පවසන්නේ සංචරණ සීමා ලිහිල් කිරීමෙන් කොවිඩ් මර්දන එන්නත්කරණය මන්දගාමී රටවල් ඉදිරියේදී මාරාන්තික වසංගත තත්ත්වයකට මුහුණදෙනු ඇති බවය.