AFL 19 වන කණ්ඩායම බවට ටස්මේනියා කණ්ඩායමට අනුමැතිය

AFL හෙවත් ඔස්ට්‍රේලියානු පාපන්දු ලීග් තරගාවලියේ 19 වන කණ්ඩායම බවට ටස්මේනියා ප්‍රාන්ත කණ්ඩායමට අනුමැතිය හිමිවී තිබෙනවා.

අද පස්වරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති ඡන්ද විමසීමකදී අනෙකුත් සියලුම සමාජවල සභාපතිවරුන් ඊට අනුමැතිය දී තිබුණා.

මේ අනුව ඔස්ටේ්‍රලියානු පාපන්දු ලීග් කොමිසම විසින් මෙම සතිය අවසානය වනවිට අවසන් තීන්දුවක් ගැනීමටයි නියමිතව ඇත්තේ.

පසුගිය සෙනසුරාදා දිනයේදී අගමැති ඇන්තනී ඇල්බනීස් හෝබාට් හිදී නිවේදනය කලේ ටස්මේනියා ප්‍රාන්තය තුළ නව පාපන්දු ක්‍රීඩාංගණයක් ඉදි කිරීම ඇතුලු පාපන්දු ක්‍රීඩා නංවාලීමේ වැඩසටහනකට ඩොලර් මලියන 240 ක මුදලක් ලබාදීමට ෆෙඩරල් රජය පියවර ගන්නා බවයි.

2028-29 කාලසීමාවේදී ඉදි කර අවසන් කිරීමට යෝජිත නව ක්‍රීඩාංගණය සඳහා වැය වනු ඇති බවට තක්සේරු කර ඇති සමස්ත මුදල ඩොලර් මිලියන 715 ක්.

කෙසේවෙතත් විසඳීමට තවත් ගැටලු රැසක් පැවතියදී පාපන්දු ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට අති විශාල මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් ටස්මේනියා ප්‍රාන්තවාසීන් දැඩි විරෝධයක් පළකර තිබුණා.