ජනපති ධුරය පුරප්පාඩු වූ විට සුදුස්සෙකු තෝරා ගන්නේ මෙහෙමයි

1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත ප්‍රකාරව ජනාධිපතිධූරය හිස්වූ අවස්ථාවක ජනාධිපතිවරයා තෝරා පත් කරගන්නා ආකාරය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනු ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිධූරය හිස් වූ අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි ව්‍යවස්ථාව මගින් දක්වා ඇති පරිදි ධූරය හිස් වූ ජනාධිපතිවරයාගේ ධූර කාලයෙන් ඉතිරි කාලය තුළ පමණක් ධූරය දැරීමට පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරයන් අතුරෙන් ජනාධිපති ධූරයට තෝරා පත්කර ගනු ලැබීමට සුදුසුකම් ඇති යම් මන්ත්‍රීවරයෙකු ජනාධිපත්වරයා ලෙස තෝරාපත්කරගැනීම සිදු කළ යුතුය.

මෙහිදී මෙම තෝරාපත්කරගැනීම 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ විධි විධාන අනුගමනය කරමින් සිදු වේ.

විශේෂයෙන්ම මෙම ක්‍රියාවලිය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගේ මූලිකත්වයෙන් සිදු වන අතර මෙම ඡන්ද විමසීමේදී කථානායකවරයාට ද ඡන්දයක් හිමිවේ. එසේම මෙම ක්‍රියාවලිය සඳහා පාර්ලිමේන්තුව දින 3ක් රැස්වීම සිදුවේ.

මේ අනුව පනතේ දක්වා ඇති විධි විධාන යටතේ පහත පියවරයන් අනුගමනයකරමින් මෙම තෝරා පත්කරගැනීම සිදුවේ.

• මෙහිදී ජනාධිපතිධූරය හිස් වූ දිනට පසුව හැකි ඉක්මනින් ද එසේම එදින සිට මාසයක් නොඉක්මවිය යුතු පරිදි ද එම තෝරා පත් කර ගැනීම සිදු කළ යුතුය.

• ඒ අනුව එම පුරප්පාඩුව ඇති වී දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවිය යුතු අතර එහිදී පාර්ලිමේන්තුව රැස්වීම සඳහා නියමිත දිනය සහ වේලාව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දීම සිදුවේ.

• එසේ පාර්ලිමේන්තුව රැස්වූ විට ජනාධිපතිධූරයෙහි පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවට දන්වා සිටිය යුතුය. මේ අනුව එම රැස්වීම් දිනයෙහි සිට පැය 48කට කලින් නොවන්නාවූ සහ දින 7කට පසු නොවන්නා වූ දිනයක ජනාධිපතිධූරය සඳහා නාම යෝජනා බාර ගනු ලබන දිනයක් සහ වේලාවක් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් නියම කළ යුතුය.

• නාම යෝජනා භාර ගැනීම සඳහා නියම කරනු ලැබූ දිනයේ දී පාර්ලිමේන්තුව රැස් විය යුතු අතර මහලේකම්වරයා තේරීම්භාර නිලධාරියා වශයෙන් ක්‍රියා කිරීම සිදුවේ. මේ අනුව මෙදින ජනාධිපතිධුරය සඳහා තෝරාපත්කර ගැනීමට යම් මනිත්‍රීවරයෙකුගේ නමක් යෝජනා කිරීමට අපේක්ෂා කරන සෑම මන්ත්‍රීවරයෙකුම තමා විසින් එසේ යෝජනා කරනු ලබන මන්ත්‍රීවරයා තෝරා පත් කර ගනු ලැබුවහොත්, ජනාධිපතිධූරයෙහි සේවය කිරීමට ඔහු කැමැති බවට ලිඛිත එකඟත්වයක් කලින් ලබාගෙන තිබිය යුතුය. එසේම අපේක්ෂකත්වයට යෝජනා වූ මන්ත්‍රීවරයා එදින පාර්ලිමේන්තුවේ සිටිය යුතුය.

• මෙහිදී ජනාධිපති ධූරය සඳහා එක් මන්ත්‍රීවරයකු පමණක් එසේ යෝජනා කරනු ලැබ ස්ථීර කරනු ලැබුවේ නම් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් එම මන්ත්‍රීවරයා ජනාධිපතිධුරය සඳහා තෝරාපත්කර ගනු ලැබූ බව ප්‍රකාශයට පත් කරනු ලැබිය යුතුය. එක් මන්ත්‍රීවරයෙකුට වඩා වැඩි දෙනෙකු මෙසේ යෝජනා කරනු ලැබ ස්ථිර කරනු ලැබුවේ නම් ඡන්ද විමසීමක් සඳහා දිනයක් සහ වේලාවක් පාර්ලිමේන්තුව විසින් නියම කළ යුතුය. එම දිනය නාම යෝජනා පත්‍ර භාර ගැනීමේ වේලාවෙන් පැය 48 කට පසුව වූ දිනයක් නොවිය යුතුය.

• ඉන්පසුව ඡන්ද විමසීම සඳහා නියම කරනු ලැබූ දිනයේදී පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා තේරීම්භාර නිලධාරියා වශයෙන් ක්‍රියා කළ යුතු අතර ඡන්දය දීම ආරම්භ කිරීමට පෙර ඔහු විසින් හිස් ඡන්ද පෙට්ටිය හෝ හිස් ඡන්ද පෙට්ටි මන්ත්‍රීවරුන්ට පෙන්වා ඒවාට මුද්‍රා තැබීම සිදුකළ යුතුය. මේ අනුව ඡන්දය දීම ආරම්භ කළ විට තේරීම්භාර නිලධාරියා ලෙස කටයුතු කරන මහලේකම්වරයා විසින් කථානායකවරයා ඇතුලු එක් එක් මන්ත්‍රීවරයාගේ නම අඬගසනු ලැබිය යුතු අතර එම එක් එක් මන්ත්‍රීවරයා තේරීම්භාර නිලධාරියා ගේ මේසය වෙත ගොස් ඡන්ද පත්‍රිකාවක් ලබාගෙන ඡන්දය සළකුණු කිරීම සිදුකළ යුතුය. ඉන්පසු එය ඡන්ද පෙට්ටියට දැමීම සිදුකළ යුතුය.

එසේම මන්ත්‍රීවරයෙකු විසින් අනවධානයෙන් ඡන්ද පත්‍රිකාවක් නරක් කරන ලද්දේ නම් එය තේරීම්භාර නිලධාරියාට ආපසු දිය හැකි අතර මේ පිළිබඳ තේරීම්භාර නිලධාරියා සෑහීමකට පත්වන්නේ නම් වෙනත් ඡන්ද පත්‍රිකාවක් ඔහුට දිය යුතුය. තව ද එම නරක් වූ ඡන්ද පත්‍රිකාව තේරීම්භාර නිලධාරියා විසින් නොපමාවම අවලංගු කළ යුතුය. මෙහිදී නම අඬ ගැසූ විට ඡන්දය නොදුන් යම් මන්ත්‍රීවරයෙකුගේ නම ඡන්දය දීම අවසන් කළයුතු වෙලාවට පෙර දෙවන වරටත් අඬ ගසන අතර එහිදී ද එම මන්ත්‍රීවරයා ඡන්දය නොදෙන්නේ නම් ඔහු ඡන්දය දීමෙන් වැළකී සිටිය ලෙස සලකනු ලැබේ.

• මේ අනුව එක් මන්ත්‍රීවරයෙකුට එක් ඡන්දයක් පමණක් හිමි වන අතර ඡන්දය දෙන අපේක්ෂකයාගේ නම ඉදිරියෙන් ඇති කොටුවෙහි “1” යන ඉලක්කම යෙදීම මගින් ඡන්දය සළකුණු කිරීම සිදුකළ යුතුය. මෙහිදී අපේක්ෂකයින් කිහිපදෙනෙක් යෝජනාවී ඇති අවස්ථාවක මනාප සළකුණු කිරීමටද අවස්ථාව පවතී. ඒ අනුව ඉදිරිපත්වී ඇති අපේක්ෂකයන් ගණන අනුව අනෙකුත් ඡන්ද අපේක්ෂකයන්ගේ නම් ඉදිරියේ ඇති කොටු තුළ 2,3 ආදී ලෙස මනාපයන් අනුපිළිවෙල අනුව යෙදිය හැකිය.

• මෙසේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව ඡන්ද ගණන් කිරීම සිදුවේ. ඡන්දය ගණන් කිරීම සිදුකරන ස්ථානයට යම් අපේක්ෂකයෙකු පැමිණීමට කැමති නම් ඔහුට ඒ සඳහා අවස්ථාව හිමිවන අතර නැතහොත් තමා නියෝජනය කිරීමට වෙනත් මන්ත්‍රීවරයකු එම ස්ථානයට යෑමට පත්කිරීමට එම අපේක්ෂකයාට හැකිය.

• දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් යම් අපේක්ෂකයෙකු ලබා ගන්නේ නම් එම අපේක්ෂකයා ජනාධිපතිධුරයට තෝරා පත් කර ගනු ලැබූ බව මෙහිදී තේරීම්භාර නිලධාරියා එනම් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් නොපමාව ප්‍රකාශයට පත් කරනු ලැබිය යුතුය.

• එසේම දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් කිසිම අපේක්ෂකයකුට ලැබී නොමැති අවස්ථාවල සටහන් කර ඇති දෙවන, තෙවන ආදී මනාප පරික්ෂා කිරීම සිදුවේ. මෙහිදී අවම මනාප ලබා ගත් අපේක්ෂකයන් ඉවත් කරමින් ඔවුන්ට දෙන ලද දෙවන මනාප ගණන් කිරීම සිදු කරයි.

• ගණනය කිරීමේදී වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් කිසිම අපේක්ෂකයෙකු විසින් ලබාගෙන නොමැති අවස්ථාවකදී එකී ගණන් කිරීමේ දී බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගෙන ඇති අපේක්ෂකයා ජනාධිපතිධුරයට තෝරා පත් කර ගනු ලැබූ බව තේරීම්භාර නිලධාරියා විසින් ප්‍රකාශයට පත් කරනු ලබයි.

• එසේම අපේක්ෂකයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර ඡන්ද සමාන වූ විට කුසපත් ඇදීමක් සිදු වේ.

වැඩිම බදු අනුපාතයක් සහිත සංවර්ධිත රටවල් අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

පසුගිය වසරේ බදු වැඩිවීමෙන් ඔස්ට්‍රේලියානු කම්කරුවන් දැඩි පීඩාවකට පත් වූ බව ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියාව තුළ ගැටලු හමුවේ සමාජ මාධ්‍ය අභියෝගයක් වෙයි

ඔස්ට්‍රේලියාව තුළ සමාජ මාධ්‍ය යනු ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ සිට ත්‍රස්තවාදය මෙන්ම යුද්ධය දක්වා සියලුම ගැටලු එකිනෙක සම්බන්ධ කරන වඩාත් අභියෝගාත්මක කරුණක් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ශ්‍රී ලාංකික සංක්‍රමණික යාත්‍රා ගැන අලුත් අනාවරණයක්

ගතවූ වසරක පමණ කාලයක් තුල ශ්‍රී ලාංකික බෝට්ටු නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණීමේ සිදුවීම් වාර්තා නොවූ බව ඔස්ට්‍රේලියානු හදිසි කාර්ය සාධක බලකාය පවසනවා.

Read More »

සිඩ්නි ගුවන් තොටුපොලෙන් ශ්‍රී ලංකාවට යන යානයකට දිව ගොස් නගින්න හැදූ පුද්ගලයා අත්අඩංගුවේ

සිඩ්නි ගුවන් තොටුපළේ ආරක්ෂක නියෝග නොතකමින් ගුවන් ධාවන පථය ආසන්නයට දිවගොස් යානයකට නැගීමට උත්සාහ කළ 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »