සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.
ඔවුන් දෙදෙනා අයිස්ලන්තයේ නිවාඩුවක් ගත කර ආපසු නිවසට යාම සඳහා ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් සිටියදීයි යානය අනතුරට ලක්වී ඇත්තේ.
ඔවුන් ප්‍රකාශ කළේ ගුවන් යානය දැඩි කැළඹීමට හසුවීම සමග මිනිත්තු කිහිපයක් ඇතුළත මීටර් 2000ක් පමණ කඩා වැටුණු බවයි.
මෙම සිදුවීම අතරතුර එක් පුද්ගලයෙකු හෘදයාබාධයකින් මිය ගිය අතර තවත් 30කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණා.
මේ වන විට වාර්තා වී ඇත්තේ අදාළ ගුවන් යානය බැංකොක් නුවරට හදිසි ගොඩබෑමක් සිදු කරන විට එහි ඔස්ට්‍රේලියානුවන් 56 දෙනෙකු සිට ඇති බවයි.
තමන් ආසන පටි පැළඳ සිටීම හේතුවෙන් තුවාල සිදුවීමෙන් වැළකුණු බව යානයේ සිටි ඇඩිලේඩ් යුවළ ප්‍රකාශ කළා.
ආසන පටි පැළඳ නොසිටි ඇතමුන් බිම ඇද වැටුණු අතර ඔවුන් ආසන අල්ලාගෙන ගමන අවසානය දක්වා සිටි බවයි පැවසෙන්නේ.
කුඩා ළමයින් ද ආසනවලින් විසිවී ගොස් තුවාල ලැබූ බව මෙම යුවළ ප්‍රකාශ කළා.
මගීන් ආසන පටි පැළඳ සිටියේ නම් බොහෝ තුවාල වළක්වා ගත හැකිව තිබූ බව ගුවන් සේවා විශේෂඥයින් පෙන්වාදී තිබෙනවා.