
බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එල්ල වූ ප්‍රහාරය පිළිබඳ ජනතාව තුළ කෙතරම් විශාල කෝපයක් ඇති කළේ ද යත්, පොලිසිය පැමිණෙන තෙක් සැකකාර තරුණයා ආරක්ෂාව සඳහා ගොඩනැගිල්ල තුළ රඳවා තැබීමට සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
මාරි එම්මානුවෙල් රදගුරුතුමා අන්තර්ජාලයේ සජීවීව විකාශය වෙමින් පැවති දේශනාවක් කරමින් සිටි අතර එම අවස්ථාවේ 15 හැවිරිදි සැකකරු උන්වහන්සේට පිහියෙන් ඇන තිබුණා.

සිදුවීමෙන් පසු පල්ලියෙන් පිටතදී ආගමික කණ්ඩායම් සාමාජිකයන් පිරිසක් සහ පොලිසිය අතර උණුසුම් තත්වයක් ද හටගෙන තිබෙනවා.
එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ අතර තත්ත්වය පාලනය කිරීමට පොලිසියට පැය ගණනක් ගත වූ බව සඳහන්.

සිඩ්නි හි වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු සංකීර්ණයක දී හය දෙනෙකුට පිහියෙන් ඇන ඝාතනය කර දින කිහිපයකට පසුව මෙම සිදුවීම වාර්තා වුණා.
කෙසේවෙතත් සිදුවීම් දෙක එකිනෙකට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් ලැබී නැහැ.
මේ අතර දේවස්ථානයේ පිහි ඇනුම ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස පොලිසිය ප්‍රකාශ කර ඇති අතර ප්‍රහාරය ත්‍රස්ත සිදුවීමක් ලෙස සලකන බව නිව් සවුත්වේල්ස් අග්‍රාමාත්‍ය ක්‍රිස් මින්ස් ද තහවුරු කර තිබෙනවා.
පිහි ඇනුම සහ දේවස්ථානයෙන් පිටත සිදු වූ කෝලාහලය විමර්ශනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් ස්ථාපිත කර තිබෙනවා.
අද උදෑසන අගමැති ක්‍රිස් මින්ස්, පොලිස් කොමසාරිස් කැරන් වෙබ් සහ ගිලන්රථ කොමසාරිස් ඩොමිනික් මෝගන් ජනතාව අතර ඇති වූ ප්‍රචණ්ඩත්වය හෙළා දැක තිබෙනවා.