Search

ඇතැම් ප්‍රාන්ත රජයන් ගන්නා තීරණ හමුවේ ස්වදේශික ජනතාවට දැඩි අසාධාරණයක්

ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්ත රජයන් විසින් ගනු ලබන තීරණ හමුවේ ඇබොරිජින් ඇතුලු ස්වදේශික ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවන බවට නවතම වාර්තාවකින් චෝදනා කර තිබෙනවා.

ඵලදායිතා කොමිසම විසින් නිකුත් කර ඇති මෙම වාර්තාවේ දැක්වෙන්නේ ඇතැම් ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් ස්වදේශික ජනතාව සමග මුලින් ඇතිකර ගන්නා එකගතා ඔවුන්ටද නොදන්වා පසුව වෙනස් කිරීමට ඇතැම් ප්‍රාන්ත රජයන් කටයුතු කරන බවයි.

ක්වීන්ස්ලන්ඩ් රජය විසින් සිදුකල ඇප කොන්දේසි නීති දැඩි කිරීම සහ Northern Territory රජය විසින් සිදුකල ඇල්කොහොල් නීති දැඩි කිරීම මීට උදාහරණ ලෙස මෙම වාර්තාවෙ සඳහන්.

ස්වදේශික ජනතාව සමග වන පරතරය අඩු කරන ජාතික මට්ටමේ සහ ප්‍රාන්ත නායකයන් විසින් නිරතුරුව අවධාරණය කලද ප්‍රායෝගිකව සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් ක්‍රියාවලියක් බවටයි ඵලදායිතා කොමිසම පෙන්වා දෙන්නේ.

ස්වදේශික ජනතාවට බලපාන සියලු කරුණු පිළිබඳ තීන්දු තීරණ ගැනීමට පෙර ඔවුන් සමග විධිමත් සාකච්ඡා මාලාවක් පැවැත්වීමේ වැදගත්කමද එහි ඉස්මතු කර තිබෙනවා.