චොකා මල්ලිටත් ඇමතිකමක්

වරාය සහ නාවික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රත්නපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) දිවුරුම් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය එය තහවුරු කලේය.

ප්‍රේමලාල් ජයසේකර හෙවත් ජනයා අතර චොකා මල්ලි නමින් ප්‍රකට රත්නපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකුට මරණ දණ්ඩනය නියම කෙරුණේ 2020 ජූලි 31 වැනිදායි.

රත්නපුර මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනුකොට 2016 ජූලි 22 දින ඉදිරිපත් කළ අධි චෝදනා පත්‍රෙයන් ඔවුනට එරෙහිව චෝදනා 9ක් දක්වා තිබිණි.

ඒ දණ්ඩ නීති සංග්‍රහයේ 140, 296, 300 සහ 426 යන වගන්ති යටතේයි.

එම මහාධිකරණ නඩුව අවසන් කරමින් ප්‍රේමලාල් මන්ත්‍රීවරයා ඇතුළු සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අරුණ නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මාණික්කවඩුගේ වජිර දර්ශන ද සිල්වා යන තිදෙනාට එරෙහිව මරණ දඬුවම නියම කෙරිණි.

ඒ, 2015 පැවැති ජනපතිවරණයේ ප්‍රචාරක කටයුතු අතරතුරදී එම වසරේ ජනවාරි 05 හෝ ඊට ආසන්න දිනකදී රත්නපුර කහවත්ත නගරයේ පැවැති මෛත්‍රීපාල සිරිසේන ජනපති අපේක්ෂකයාගේ ප්‍රචාරක රැලියකදී වූ ගැටුමක් නිසාවෙනි.

එසේ වසර දෙකකට ආසන්න කාලයක් සිර බත් කෑ විත්තිකරුවන්ට එරෙහිව රත්නපුර මහාධිකරණය දුන් නඩු තීන්දුව ඉවත දමමින් තිදෙනා නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය පසුගිය මාර්තු 31 වැනි බ්‍රහස්පතින්දා නියෝග කෙරිණි.

එම නියෝගය ලබා දුන්නේ නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන ද්විත්ව විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසිනි.

මරණ දණ්ඩනයට නියමව සිටි තිදෙනා විසින් අභියාචනා පෙත්සම් තුනක් ගොනු කෙරුණේ රත්නපුර මහාධිකරණය විසින් තමන්ට එරෙහිව පැවැති නඩු විභාගයේදී ඉදිරිපත් වූ කරුණු හරිහැටි විශ්ලේෂණය නොකොට අත්තනෝමතික ලෙස තම තිදෙනා වරදකරුවන් කොට මරණ දණ්ඩනයෙන් දඬුවම් නියමකොට ඇති බවට සඳහන් කරමිනි.

එසේ හෙයින් එම නඩුවේදී ඉදිරිපත් වූ සියලු කරුණු හා සාක්ෂි යළි විශ්ලේෂණය කොට බලා තමන් හට නියම කර ඇති අගතිදායක වූත් නීතියට පටහැනි වූත් එම නඩු තීන්දුව ඉවත දමා තම තිදෙනා නිදොස් කොට නිදහස් කරන ලෙසටද එම අභියාචනා පෙත්සම් තුනෙන් ඔවුන් තිදෙනා ඉල්ලා සිටියේය. ඒ අනුව ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනා ගොනුකළ අභියාචනා පෙත්සම් තුන 2021 නොවැම්බර් මස 08 වැනි දා සිට අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගැනිණි. අනතුරුව ඉකුත් පෙබරවාරි 24 වැනිදා එම අභියාචනා විභාගය නිමා කළේ මාර්තු 31 එනම් ඉකුත් බ්‍රහස්පතින්දා දිනට තීන්දුව ප්‍රකාශයට පත්කරන බවට පෙත්සම් විභාග කළ විනිශ්චය මණ්ඩලය ප්‍රකාශ කරමිනි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අය නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කෙරුණි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සඳහන් කළේ, එම සිදුවීම වූ අවස්ථාවේදී විත්තිකරුවන් අත ගිනිඅවි තිබූ බවට සහ ඔවුන් විසින් වෙඩි තැබූ බවට සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවයි. ඒ අනුව විත්තිකරුවන්ට අදාළ චෝදනාවන් රත්නපුර මහාධිකරණය හමුවේ සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බවත් විනිසුරුවරයා වැඩිදුරටත් පැවැසීය.

මරණීය දණ්ඩනය නියමව සිරගත කර සිටියදීත් 2020 වසරේ පැවැති දහසය වැනි පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගැනීමට තරම් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා සමත් වූයේ අඛණ්ඩව පස්වැනි වරටත් පාර්ලිමේන්තුව නියෝජනය කරමිනි. ඔහු එවර නිවිතිගල ආසන සංවිධායකවරයා ලෙස අංක 13 ඔස්සේ රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මනාප ඡන්ද 142,037ක් තරම් අතිවිශාල සංඛ්‍යාවක් ලබා ගනිමින් පාර්ලිමේන්තුව නියෝජනයට සුදුසුකම් ලබාගත්තේ දිස්ත්‍රික්කයේ දෙවැනියා වෙමින් මනාප ඡන්ද 200,977ක් ලබාගත් පවිත්‍රාදේවි වන්නිආරච්චිට පමණක් දෙවැනි වෙමිනි. එහෙත් බන්ධනාගාරගතව සිටි ප්‍රේමලාල් ජයසේකරට එදා අබිනව පාර්ලිමේන්තුවේ පළමු සභා වාරයට සහභාගි වීමට වාසනාව නොලැබුණේ ඊට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් අවසරයක් නොලැබීම නිසාය.

අනතුරුව මන්ත්‍රීවරයා රිට් පෙත්සමක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරමින් බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තු සභා වාරයන්ට සහභාගි වීමටද වරම් දිනා ගත්තේය.

1974 නොවැම්බර් 16 වැනිදා උපත ලද හල්කඳලිය ලේකම්ලාගේ ප්‍රේමලාල් ජයසේකර ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරමින් සිටියදී වයස අවුරුදු 23දී 1997 වසරේ පැවති නිවිතිගල ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග කොට එහි සභාපතිවරයා ලෙස තේරී පත්විය.

ඔහු ප්‍රථම වතාවට රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 2001 පාර්ලිමේන්තු මැතිවරණයේදී මනාප ඡන්ද 79,742ක් ලබා ගනිමිනි. 2004 වසරේදීද මනාප ඡන්ද 71,982ක් ලබාගත් ප්‍රේමලාල් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු වරම් දිනා ගංගා නිම්න සංවර්ධන සහ රජරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් විය. 2010 දී නැවතත් රත්නපුර දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 73,175ක් ලබා පාර්ලිමේන්තුවට පැමිණි ඔහු විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. 2015 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදීද ප්‍රේමලාල්ට පාර්ලිමේන්තු වරම් හිමි වූයේ ඔහුට එරෙහිව මිනීමැරුම් චෝදනාද එල්ල වෙමින් තිබියදීය. එවර රත්නපුර ජනතාව මනාප ලැයිස්තුවේ පළමුවැනියා ලෙස ප්‍රේමලාල් ඉහළින්ම ඔසවා තැබුවේ මනාප 154,988ක් තරම් අතිවිශාල ඡන්ද සංඛ්‍යාවක් ලබා දෙමිනි.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »