
වෙළඳ හා සුඛෝපභෝගී මගී නෞකාවල නව ක්ෂේත්‍ර ගණනාවක රැකියා සඳහා ලාංකිකයන්ට විශාල ඉල්ලුමක් ඇති බවත් ඒ සඳහා තරුණ තරුණියන් පුහුණු කිරීමට පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කරන බව වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
මෙතෙක් අපේ රටේ තරුණයන් නැව්වල රැකියා සඳහා ගියේ සීමන්වරුන් හෙවත් වෙළෙඳ නාවිකයන් ලෙස නමුත් මේ වන විට විශාල මගී (Cruise) නෞකාවල කරණවෑමියන්,අරක්කැමියන්, ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ රැකියා,කැසිනෝ හා විනෝදාස්වාද සේවා ප්‍රාසාංගික සේවා ශිල්පීන් ආදීන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක රැකියා සඳහා විශාල ඉල්ලුමක් ඇතැයි ද ශ්‍රී ලංකාවේ තරුණයන්ගේ සේවා ප්‍රශස්ත තාවය නිසා ලංකාවේ තරුණයන්ට නාවික රැකියා සඳහා විශාල ඉල්ලුමක් යුරෝපයේ සහ වෙනත් රටවල පවතින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
වෙළඳ නාවිකයන් හා විශේෂ සේවා සඳහා නාවිකයන් පුහුණු කරන ආයතනවල නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණය විය.

මෙම නව නාවික ක්ෂේත්‍ර රැකියා සඳහා නැව්වලට ඇතුල්වීම සඳහා ලබාදෙන බලපත්‍රය (CDC) ලබා ගැනීමේ ගැටළු සහගත තත්ත්වයක් ඇති බව එම පුහුණු ආයතන පෙන්වා දුන් අතර, පවතින නීති හා රෙගුලාසි සංශෝධනය කර එම නව රැකියා ක්ෂේත්‍ර සඳහා නැව් නැගීමේ බලපත්‍රය පහසුවෙන් හා විවෘතව ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන බව අමාත්‍යවරයා මෙහි දී පැවසීය.
මේ වන විට ශ්‍රී ලාංකිකයන් දහසය දහසක් (16.000) පමණ විවිධ නාවික රැකියාවල නිරත වී සිටින බවත් එය ලෝකයේ නාවික රැකියාවල නිරත වී සිටින සංඛ්‍යාවෙන් දශම එකක් පමණ බව පැමිණි සිටි නියෝජිතයෝ පෙන්වා දුන්හ.

වෙන රටවල තරුණයන්ට වඩා ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් පිළිබඳ ලෝක නාවික ක්ෂේත්‍රයේ ගෞරවනීය තත්ත්වයක් ඇති බවත්, එම නිසා උපරිම වශයෙන් මෙම ක්ෂේත්‍රය පිළිබඳ පුහුණුව මෙරට තරුණයන්ට ලබාදුනහොත් තව විශාල රැකියා ප්‍රමාණයක් අප රටට ලබා ගත හැකි බව මෙහි දී එම පුහුණු ආයතන නියෝජිතයෝ පෙන්වා දුන්හ.
මේ වන විට මූලික න්‍යායික පුහුණුව ලැබූ තුන් දහසක් පමණ නැව්වල ප්‍රායෝගික පුහුණුව ලබා ගැනීමට නොහැකිව සිටින බව ද ඔවුහු අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.
එම නිසා පළමුව එම (3000) තුන් දහසට නැව්වල ප්‍රායෝගික පුහුණුවක් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහි දී පැවසීය.
ඒ සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන නැව්වල හිමිකරුවන් සමග සාකච්ඡා කර අවස්ථාව ලබා ගැනීමට ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.