බැල්ටිමෝරයේ පාලම් අනතුරින් මියගිය අය සෙවීම අත්හැර දමයි

බැල්ටිමෝර් නගරයේදී කන්ටේනර් ප්‍රවාහන නෞකාවක් ගැටී ප්‍රධාන පාලමක් කඩා වැටී සිදු වූ අනතුරින් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් ඇතැයි විශ්වාස කරන බව සහන කණ්ඩායම් පවසනවා.

එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය පැවසුවේ පාලම මත සිටි පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති බවට සැක කරන අතර සෝදිසි මෙහෙයුම් නවතා දමා ඇති බවයි.

සුන්බුන් අතරින් දෙදෙනෙකු බේරා ගත් අතර එක් මළ සිරුරක් හමු වී තිබෙනවා.

අනතුරට ලක්වූ පුද්ගලයන් හය දෙනා පාලමේ අලුත්වැඩියා කටයුතු සිදු කරන කාර්ය මණ්ඩලයේ පිරිසක් බවට මේරිලන්ඩ් ප්‍රවාහන ලේකම්වරයා ප්‍රකාශ කළා.

අඟහරුවාදා අලුයම 1.30ට පමණ නෞකාව ගැටීමෙන් කිලෝමීටර් 3ක් දිග ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩා වැටුණේ එහි ගමන් කරමින් සිටි වාහන ද සමගින්.

පාලමේ ගැටීමට මොහොතකට පෙර නෞකාවේ විදුලි විසන්ධි වීමක් සිදුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් පණිවුඩයක් නිකුත් කර තිබු බව නිලධාරීන් ප්‍රකාශ කළා.

නෞකාවේ කාර්ය මණ්ඩලය කළ එම දැනුම්දීම හේතුවෙන් පාලමේ වාහන ගමනාගමනය සීමා කිරීමට බලධාරීන්ට හැකි වූ බව මේරිලන්ඩ් ආණ්ඩුකාරවරයා සඳහන් කර තිබෙනවා.

ආණ්ඩුකාර වෙස් මුවර් පවසන්නේ මෙම ඛේදවාචකයෙන් අනතුරට ලක්වූ මිනිසුන් සිහිපත් වන ආකාරයෙන් පාලම නැවත ගොඩනඟන බවයි.

ඇමරිකාවේ ජාතික ගීය වන ස්ටාර් ස්පැන්ගල්ඩ් බනාර් හි (Star Spangled Banner) රචකයා වූ ෆ්‍රැන්සිස් ස්කොට් කී (Francis Scott Key) නමින් නම් කර ඇති මෙම පාලම විවෘත කර ඇත්තේ 1977 වසරේදී යි.

පාලම ප්‍රතිනිර්මාණය කිරීමේ සහ වරාය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා වන සම්පූර්ණ පිරිවැය තම රජය විසින් ආවරණය කරන බව ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම නෞකාව සිංගප්පූරුව පදනම් කරගත් ග්‍රේස් ඕෂන් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමට අයත් වන අතර, එහි කපිතාන්වරු දෙදෙනා ඇතුළු සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් ආරක්ෂිතව සිටින බව සඳහන්.

මැරීන් ට්‍රැෆික් ඇන්ඩ් වෙස්ල් ෆයින්ඩර් (Marine Traffic and Vessel Finder) අනුව ඩාලි ලෙස හැඳින්වෙන මෙම නෞකාව ශ්‍රී බැල්ටිමෝර් සිට කොළඹ දක්වා ගමන් කරමින් සිටි බවයි අනාවරණ වී ඇත්තේ.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »