පඩි නොගෙවූ නැවකට ඔස්ට්‍රේලියාවට ඇතුලුවීම තහනම්

ලයිබීරියානු ධජය සහිත තොග භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන MSXT Emily හට වසරක කාලයක් ඔස්ට්‍රේලියානු මුහුදු සීමාවට ඇතුල්වීම වලක්වාලමින් වා‍රණයක් නිකුත් කර තිබෙනවා.

සමුද්‍රීය කම්කරු නීති උල්ලංඝණය කරන බවට ඔස්ට්‍රේලියානු සමුද්‍ර අධිකාරියට ලැබුණු තොරතුරකට අනුව සිදුකල විමර්ශනයකින් අනතුරුවයි මෙම වාරණය පණවා ඇත්තේ.

අදාල යාත්‍රාවේ සේවයේ නියුතු නාවුකයින් සදහා ගිවිසුම්ගත මුදල් නොගෙවීම, බලපෑම් සහ තර්ජනය කිරීම් වලට අදාලව මෙම නෞකාවට එරෙහිව දිගින් දිගටම චෝදනා එල්ල වී තිබෙනවා.

මාස 04 ක කාලයක් අදාළ වැටුප් ගෙවීම් නිසි පරිදි සිදු කල ද පසුව එම ගිවිසුම්ගත මුදල සියයට 50 ක් දක්වා අඩුකරමින් නව ගිවිසුම් අත්සන් කිරීමට නාවිකයින් හට බලපෑම් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව නාවුකයින් හට ගෙවීමට ඉතිරිව පවතින හිග මුදල ඩොලර් මිලියන 118 ක්.

ඉදිරියේදි මෙවැනි ක්‍රියා සිදු නොවීමට MSXT Emily නෞකාව යාත්‍රා කරන සෙසු රටවලින්ද මේ පිළිබද සොයා බැලීමට නියමිතයි.

නාවික සේවකයන් අගතියට පත්වන කිසිදු අවස්ථාවකට තමන් ඉඩ නොදෙන බවයි ඔස්ට්‍රේලියානු සමුද්‍ර අධිකාරිය වැඩිදුරටත් පවසන්නේ.