තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

ඒ තමන් වහා ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමිනුයි.

කාන්තාවන් 09 දෙනෙකු සහ ළමුන් 17 දෙනෙකු මෙම පිරිසට අයත් වන අතර අදාළ කාන්තාවන් විවාහ වී තිබුණේ අයි එස් සටන්කාමීන් සමගයි.

ඔවුන් සටන්වලදී මියගොස් ඇති අතර අනතුරුව මෙම පිරිස වසර ගණනක් පුරා රැඳවුම් කඳවුරක රඳවනු ලැබ සිටිනවා.

මෙම කඳවුරේම සිටි ඔස්ට්‍රේලියා ජාතික කාන්තාවන් සහ ළමුන්ද ඇතුලු 17 දෙනෙකු පසුගිය වසරේදී නැවතත් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගනු ලැබුවා.

ෆෙඩරල් අධිකරණයක් හමුවේ අද ගොණු කෙරුණු නඩුවේ දක්වා ඇත්තේ තවමත් එහි සිටින ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවන් සහ ළමුන් දැඩි පීඩාවන්ට ලක්ව සිටින බැවින් ඔවුන් වහා ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වහා පියවර ගත යුතු බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව මෙම සිරියානු කඳවුරේ සිටින හිටපු අයි එස් සටන්කාමීන්ගේ පවුල්වල සාමාජිකයන් ගණන 3,000 කට අධිකයි.