
ඔස්ට්‍රේලියාව තුළ අවම වැටුප ඉතාම නුදුරේදී නැවත වරක් ඉහළ දැමෙනු ඇති බවට වාර්තා පළවනවා.
උද්ධමනයට සමගාමීව එය ඉහළ නැංවිය යුතු අගයන් සම්බන්ධ නිර්දේශ Fair work කොමිසම වෙත යොමු කරන බවයි රැකියා කටයුතු පිළිබඳ අමාත්‍ය ටෝනි බර්ක් සඳහන් කලේ.
පසුගිය ජනවාරි මාසයේදී සියයට 7.4 ක් ලෙස පැවති උද්ධමනය පෙබරවාරි මාසයේදි සියයට 6.8 ක් දක්වා අඩුවී ඇති බව සංඛ්‍යාලේඛණ කාර්යාංශය ඊයේ නිවේදනය කලා.

ඊට සමානුපාතිකව පැයක අවම වැටුප ඩොලර් 1.40 කින් වැඩි කිරීමට යෝජනා කර ඇති අතර ඒ අනුව මෙරට ජාතික අවම වැටුප ඩොලර් 22.87 ක් දක්වා ඉහළ යනු ඇති.
මෙහි වැඩිම වාසිය හිමිවනුයේ අවම වැටුපක් ලබන්නන්ට බවද රැකියා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සිහිපත් කරනවා.

දැනට ඔස්ට්‍රේලියාව තුළ සිටින සේවකයන් අතුරින් අවම වැටුප ලබන්නන් සංඛ්‍යාව ලක්ෂ 28 කට ආසන්න බවයි පැවසෙන්නේ.
මීට මාස කිහිපයකට පෙරද ඔස්ට්‍රේලියාවේ අවම වැටුප සියයට 5.2 කින් ඉහළ දැමීමට Fair work කොමිසම අනුමැතිය ලබාදුන්නා.