
ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ බෙදීමක් හටගෙන තිබෙනවා.
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කල බවයි එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ඊයේ කියාසිටියේ.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ සිය පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකිරීමට තීරණයක් ගෙන තිබූ බවයි.

එහෙත් මේ වන විට ඩලස් අලහප්පෙරුම ද එම තරගයට ඉදිරිපත්වන බව ප්‍රකාශයට පත් කර ඇති බැවින් රනිල් වික්‍රමසිංහට සහය පළ කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් ව ඇති බැවින් සහාය දිය යුත්තේ ,පක්ෂයේ අපේක්ෂකයාට මිස පිටස්තර අපේක්ෂකයකුට නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා.

පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් හිමි පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බැවින්, පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට හැකි බවයි ඔහු සඳහන් කලේ.
ලබන විසිවැනිදා පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දයට ඉදිරිපත් වන බවට ඩලස් අලහප්පෙරුම දැනටමත් ප්‍රකාශ කර ඇතැයිද ඔහු ඉතා සුදුසු අපේක්ෂකයෙකු බව ද ජී එල් පීරිස් කියාසිටියා.
මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේද පැවසුවේ රනිල් වික්‍රමසිංහ ට සහය දීමට සිය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.
අද දිනයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිය මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් පැවැත්වෙන බවත්, එහිදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ වැඩිදුරටත් සඳහන් කළා.