ශ්‍රී ලංකාවට එන සංචාරකයන්ට අලුත් අවස්ථාවක්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ට ගුවන් තොටුපොලේදී ම රියදුරු බලපත්‍ර ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු සැලසුම් කර තිබෙනවා.

ලබන අප්‍රේල් 15 වනදා සිට මෙය ක්‍රියාවට නැංවීමටයි සැලසුම් කරඇත්තේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අපේක්ෂා කරන විදේශිකයන්ට ගුවන් තොටුපලේදී ඒ සඳහා අයදුම් කිරීමේ පහසුව පවතින බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.

ගුවන් තොටුපළෙන් පිටවීමත් සමඟම ඔවුන්ගේ රියදුරු බලපත්‍රය කඩිනමින් සහ කාර්යක්‍ෂමව ලබා ගැනීමට හැකිවන බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව, සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ සංචාරක අමාත්‍යාංශය සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙනවා.

රියදුරු බලපත්‍රය අයදුම් කරන සංචාරකයන් ගුවන් තොටුපළෙන් පිටත්ව යාමත් සමග රියදුරු බලපත්‍රය ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේ.

රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ගාස්තුව මාසයකට ඇමරිකා ඩොලර් 25ක්, මාස තුනකට ඩොලර් 50ක්, මාස හයකට ඩොලර් 75ක් සහ වසරක් හෝ ඊට වැඩි කාලයක් සඳහා ඩොලර් 200ක් අය කෙරෙනු ඇති.