වික්ටෝරියා අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙලට Coles සහය

වික්ටෝරියා ප්‍රාන්තයේ ඉවතලන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමට අදාළව අදින් ආරම්භ කල නව වැඩපිළිවෙලට සහය දැක්වීමට කෝල්ස් සුපිරි වෙළඳසැල් ජාලය ද එකගතාව පලකර තිබෙනවා.

ඒ අනුව කෝල්ස් අලෙවිසැල්වලින් මිලදී ගන්නා, භාවිතයෙන් පසු ඉවත දමන සිසිල් බීම බෝතල්, ටින්, වීදුරු බෝතල්, පලතුරු බීම අසුරණ වැනි දෑ ප්‍රාන්තය තුල පිහිටි ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන වෙත භාරදීමේ හැකියාව පවතිනවා.

අදාළ අපද්‍රව්‍ය නියමිත ලෙස නම් කර ඇති බහලූම් වෙත දැමීමට ජනතාවට උපදෙස් ලබා දී ඇති අතර සුදුසුකම් ලත් භාණ්ඩ සදහා ඩොලර් ශත 10 ක මුදල් ආපසු ගෙවීමක්ද හිමිවනු ඇති.

පළමු අත්හදා බැදීම වික්ටෝරියා ප්‍රාන්තයෙන් ක්‍රියාක්මක කර ඇති අතර ඉදිරියේ දී රට පුරා කෝල්ස් සුපිරි වෙළදසැල් ආශ්‍රිතව අදාළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන 47 ක් පිහිටුවීමට කෝල්ස් සමාගම සුදානම් ව තිබෙනවා.

මේ අතර කෝල්ස් සුපිරි වෙළදසැල් සමූහය නිවේදනය කළේ පසුගිය වසරේ දී පමණක් බීම කෑන් අසුරණ සහ බෝතල් මිලියන 200 කට අධික ප්‍රමාණයක් කෝල්ස් සම්බන්ධිත මධ්‍යස්ථාන වෙත ආපසු ගෙනැවිත් භාරදී ඇති බවයි.

වික්ටෝරියානු පාරිසරික අමාත්‍ය ස්ටීව් ඩිමොපුලස් සදහන් කළේ මෙම වැඩපිළිවෙල මගින් පාරිසරික ආරක්ෂණයට මෙන්ම ජනතාවටද වාසි රැසක් අත්වන බවයි.