
මැදපෙරදිග රටවල් 06 ක සිට පැමිණෙන ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුලුවීම වළක්වමින් පණවා තිබු තාවකාලික තහනම කොන්දේසි කිහිපයකට යටත්ව ඉවත් කර තිබෙනවා.
සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කලේ කටාර්, ඕමාන්, බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ කුවේට් රටවල සිට පැමිණෙන ගුවන් මගීන්ට එය අදාළ වන බවයි.
ඒ අනුව පනවා ඇති කොන්දේසි අතරට එම රටවල සිට මෙරටට පැමිණෙන සියලූ ගුවන් මගීන් සතුව ආසාදිත නොවන බව තහවුරු කිරීමට පීසීආර් වාර්තාවක් තිබිය යුතුයි.

අදාළ ගුවන් සමාගම මගියා ගුවන් යානයට ගොඩවීමට පෙර ඒ පිළිබඳ ව සොයාබැලිය යුතු අතර ඇන්ටිජන් පරීක්ෂණ වාර්තා පිළිගන්නේ නැහැ.
පීසීආර් වාර්තාව රජයේ හෝ අනුමත කළ ආයතනයකින් ලබාගත යුතු අතර, ඊට අදාළ කිව් ආර් කේත එහි සඳහන් විය යුතු වනවා.

මගියා ඉදිරිපත් කරන පරීක්ෂණ වාර්තාවල නිරවද්‍යතාවය සම්බන්ධයෙන් ගුවන් සමාගම තෘප්තිමත් විය යුතුයි.
එසේ පැමිණෙන මගීන්ට අවසර ලැබෙන්නේ හෝටල් නිරෝධායනයට ලක්වීමට හෝ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ජෛව ආරක්ෂිත බුබුල සංකල්පය මත පමණයි.
කෙසේවෙතත් ජුලි මස 31 වනදා දක්වා ඇංගෝලාව, බොස්ට්වානා, ලෙසෙතෝ, මොසැම්බික්, නැම්බියාව, ස්වාසිලන්තය, සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවල් සිට පැමිණෙන මගීන් සඳහා පැනවු තහනම තවදුරටත් ක්‍රියාත්මක වනවා.