
Ezone වෙබ් අඩවිය මගින් අලෙවි කළ ළඳරු නිෂ්පාදන දෙකක් වහාම ආපසු කැඳවීමට නියෝග කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම (ACCC) පවසන්නේ ඒවා දරුවන්ට බරපතල තුවාල හෝ මරණ අවදානමක් ඇති බවයි.
Car Seat Head Strap සහ Infant Feeding Pillow නිෂ්පාදන දෙකයි මෙලෙස ආපසු කැඳවා ඇත්තේ.

Car Seat Head Strap මගින් අනතුරකදී හිස සහ බෙල්ලේ පෙළගැස්ම වෙනස් කිරීමෙන් කොඳු ඇට පෙළ තුවාල වීමේ හෝ මරණයට පත්වීමේ අවදානම වැඩි කළ හැකි බව ACCC පවසනවා.
එය දරුවාගේ මුඛය හෝ බෙල්ල වටා ලිස්සා ගියහොත් ගෙල සිරවීමේ අවදානමක් ද පවතින බවයි කොමිසම පෙන්වා දෙන්නේ.

Infant Feeding Pillow මගින් ද බරපතල තුවාල ඇති කළ හැකි අතර, ළදරුවන්ට සැලකිය යුතු හුස්ම හිරවීමේ අවදානමක් පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
ACCC පවසන්නේ මෙම ස්වයං-පෝෂණ උපකරණ හේතුවෙන් දරුවන් මියගිය සිද්ධීන් ද වාර්තා වී ඇති බවයි.
මේ අතර කොමිසම දෙමාපියන්ට දැනුම් දී ඇත්තේ මෙම නිෂ්පාදන භාවිතය වහාම නවතා දමන ලෙසයි.