
AI bots මගින් වංචාකරුවන් හසුකර ගැනීමට ඔස්ට්‍රේලියාවේ විශාලතම බැංකුව වන කොමන්වෙල්ත් බැංකුව [Commonwealth Bank] පියවර ගෙන තිබෙනවා.
සෑම වසරකම දුරකථන වංචා හේතුවෙන් අහිමි වන ඩොලර් මිලියන ගණනක් අඩු කිරීම සඳහායි මෙය ක්‍රියාත්මක කරනු ලබන්නේ.
බැංකුව Apate.ai නමැති සයිබර් බුද්ධි ආයතනයක් සමඟ එක්ව පාරිභෝගිකයන් ලෙස රඟපාන AI බොට් 10,000 භාවිතයෙන් දුරකථන සහ පණිවිඩ වංචාකරුවන් හසුකර ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.

Apate.ai නිර්මාතෘ සහ ප්‍රධාන විධායක මහාචාර්ය ඩාලි කාෆර් [Dali Kaafar] පවසන්නේ මෙම පද්ධතිය “හනිපොට්” [honeypot] උපාය මාර්ගයක් මත පදනම් වී ඇති බවයි.
මෙහිදී තම දුරකථන සන්නිවේදන ජාලවලට සම්බන්ධ දුරකථන අංක ජාලයක් ක්‍රියාත්මක කරන අතර එය වංචාකරුවන් සොයා ගැනීමට සහ ඉලක්ක කිරීමට විශේෂයෙන් නිර්මාණය කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මහාචාර්යවරයා පැහැදිලි කර ඇත්තේ වංචාකරුවෙකු මෙම අංකවලින් එකක් අමතන විට හෝ පණිවිඩයක් යවන විට, ඔවුන් සැබෑවටම සංවාදවල නිරත වන්නේ පුද්ගලයෙකු සමඟ නොව AI බලයෙන් ක්‍රියාත්මක වන බොට් කෙනෙකු සමඟ බවයි.
ජාතික වංචා විරෝධී මධ්‍යස්ථාන දත්ත වලට අනුව, පසුගිය වසරේ ඉහළම මූල්‍ය පාඩු සඳහා දුරකථන වංචා හේතු වී තිබෙනවා.