
වික්ටෝරියාවේ Mount Hotham හි පැය ගණනාවක් සිය මෝටර් රථ සමග සිරවී සිටි පිරිසක් බේරාගෙන තිබෙනවා.
සති අන්තයේ ප්‍රදේශයේ සෙන්ටිමීටර 50 කට වඩා හිම පතනයක් පවතින අතර Hotham Heights අසල පුද්ගලයින් 20 කට වැඩි පිරිසක් සිරවී සිටි බවයි ප්‍රාන්ත හදිසි සේවා අංශ පවසන්නේ.
ඔවුන් Mount Hotham ස්කී ෆීල්ඩ්ස් වලට නුදුරින් පිහිටි Dargo High Plains පාර අසල Blue Rag Range ධාවන පථයේ ගමන් කරමින් සිටියා.

එහිදී එක් වාහනයක් පෙරළී ගිය අතර, පුද්ගලයෙකු සුළු තුවාල ලබා සිටින බවයි වාර්තා වන්නේ.
පිරිස අවම වශයෙන් පැය 19 ක් සිරවී සිටි අතර, ගලවා ගැනීමේ උත්සාහයේදී ගිනි නිවන රථයක් සිරවී තිබෙනවා.

සති අන්තයට පෙර සංඥා පුවරු සවි කිරීම, ජනතාවට දැනුම් දීම් සියල්ල සිදුකළ බවයි Alpine Shire කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී විල් ජෙරමි පැවසුවේ.
ඔහු පවසන්නේ ඇල්පයින් ප්‍රදේශවල රිය පදවන පුද්ගලයින්ට සංඥා කියවා මාර්ග වැසීම් පිළිබඳව දැනුවත් වන ලෙසයි.
එමෙන්ම අධික හිම පතනයෙන් පීඩාවට පත් ප්‍රදේශවල ගමන් සැලසුම් නැවත සලකා බලන ලෙසද වික්ටෝරියා බලධාරීන් දැනුම්දෙනවා.