
ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් කිහිපයක අලෙවි කරන මාරාන්තික විෂ සහිත නිෂ්පාදනයක් තහනම් කරන ලෙස විශේෂඥයන් රජයෙන් ඉල්ලීමක් කරනවා.
Second-generation anticoagulant rodenticides (SGARs) නැමති මීයන් මැරීම සඳහා යොදා ගන්නා විෂකාරක නිශ්පාදනයක් කොල්ස්, වූල්වර්ත්ස්, බන්නින්ග්ස්, මයිටර් 10 [Coles, Woolworths, Bunnings, Mitre 10] වැනි සුපිරි වෙළඳසැල්වල විකුණනු ලබනවා.
විදේශයන්හි දැඩිව සීමා කර ඇති මෙම නිශ්පාදනය විකිණීම තහනම් කරන ලෙස ඉල්ලා විවෘත ලිපියක් ඔස්ට්‍රේලියාවේ රසායනික නියාමන අධිකාරිය (APVMA) වෙත යවා තිබෙනවා.

වෛද්‍යවරුන්, සත්වවේදීන්, ගොවීන්, විද්‍යාඥයින් සහ සංරක්ෂකයින් 281 දෙනෙකුට වැඩි පිරිසක් ඊට අත්සන් තබා ඇතැයි සඳහන්.
විශේෂඥයින්ගේ මතය වන්නේ මෙවැනි ද්‍රව්‍ය වෘත්තීයවේදීන්ට පමණක් භාවිතයට අවසර දිය යුතු බවයි.

මෙවැනි නිශ්පාදන මගින් වනජීවීන් සහ සුරතල් සතුන්ට බරපතල අවදානම් තත්ත්වයකට මුහුණදීමට සිදුවන අතර ඔස්ට්‍රේලියාව මෙවැනි රසායනික ද්‍රව්‍ය භාවිතයේදී ලෝකයේ අනෙකුත් රටවල්වලට වඩා පසුපසින් සිටින බව ද ඔවුන් පෙන්වා දෙනවා.