
ශ්‍රී ලංකාවේ ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති අධි සුඛෝපභෝගී වාහන 26ක් අද දිනයේදී වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා.
වෙන්දේසියේ දෙවන අදියර ලෙසයි අද දිනයේ වෙන්දේසිය සිදු කෙරෙන්නේ.
විකිණීමට නියමිත මෙම සියලු වාහන වසර දහයක් ඇතුළත නිෂ්පාදිත වාහන වන අතර මීට අදාළ මිල ගණන් කැඳවීම ඊයේ දිනයෙන් අවසන් වුනා.

මෙම වාහන අතර බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ 01ක්, ෆෝර්ඩ් එවරස්ට් ජීප් රථ 02ක්, හුන්ඩායි ටෙරකන් ජීප් රථ 01ක්, ලෑන්ඩ් රෝවර් ජීප් රථ 02ක්, මිට්සුබිෂි මොන්ටේරෝ රථ 01ක්, නිසාන් පෙට්‍රල් රථ 03ක් වනවා.
අද දින වෙන්දේසියේදී නිසාන් වර්ගයේ මෝටර් රථ 02ක්, පෝර්ෂ් (Porsche) කේයින් මෝටර් රථ 01ක්, ස්සෑන් යං රෙක්ස්ටන් වර්ගයේ ජීප් රථ 05ක්, ලෑන්ඩ් කෘසර් සහරා වර්ගයේ ජීප් රථ 01ක්, වී 08 රථ 06ක්, සහ මිට්සුබිෂි රෝසා වර්ගයේ වායු සමීකරණය කළ බස් රථ 01ක් ද වන බවයි රජය නිවේදනය කලේ.

වාහන වෙන්දේසියේ පළමු අදියර යටතේ මීට පෙර සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අලෙවි කිරීම සිදු වුනා.
මෙම වාහන විකිණීමට තීරණය කර තිබුනේ රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින්.
පෙර වෙන්දේසියේදී ඩිෆෙන්ඩර් ජීප් රථ 09ක් ඇතුළු විවිධ වර්ගයේ වාහන 15ක් විකුණා තිබූ බව රජයේ නිල පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබුනා.
මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩල වෙත ලබා දී තිබූ වාහන නොවන බව රජය පෙන්වා දෙනවා.
එම වාහන හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධූර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් භාවිත කළ වාහන බවද එම නිවේදනයේ තවදුරටත් සදහන් වුනා.