
ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් මැතිවරණය හෙට පැවැත්වෙනවා . එහිදී තේරී පත් වූ රජයට විශාල අර්බුදවලට මුහුණ දීමට සිදුවන බවයි ඕස්ට්‍රේලියානු විචාරකයින් පෙන්වා දෙන්නේ.
ජීවන වියදම් අර්බුදය, මිලියන ගණනකගේ දෛනික ජීවිතය ගැටලුකාරී තත්වයකට ඇද දමා තිබෙන බවයි ඔවුන් සදහන් කරන්නේ.
විශාල ලෙස ඉහල යන නිවාස පිරිවැය මෙන්ම ජාත්‍යන්තරව, ධවල මන්දිරයේ සිදුවන ක්‍රියාකාරිත්වය හමුවේ ඕස්ට්‍රේලියාවේ ආර්ථික හා ආරක්ෂක ප්‍රතිපත්තිවල අත්තිවාරම් බිඳ දමමින් සිටින බවද ඔවුන් පෙන්වා දෙනවා.

මේ අතර අගමැති ඇන්තනී ඇල්බනීස් සහ විපක්ෂ නායක Peter Dutton යන දෙදෙනාම ඡන්දදායකයින් දිනා ගැනීමේ අවසන් අවස්තාවේදී දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රධාන මැතිවරණ කොට්ඨාශවලට පැය එකොළහක සංචාරයක් සිදුකර තිබෙනවා.
දෙදෙනාම දකුණු ඕස්ට්‍රේලියාව ඉලක්ක කරගනිමින් මෙම සංචාර සිදු කල බවයි විදෙස් මාද්‍ය වාර්තා කලේ.

අගමැති ඇන්තනි ඇල්බනිස් සහ නියෝජ්‍ය අගමැති රිචඩ් මාල්ස් ඊයේ දකුණු ඕස්ට්‍රේලියාවේ ස්ටර්ට් හි ඡන්ද මධ්‍යස්ථානයක් වෙත ගොස් තිබෙනවා.
ටස්මේනියාවේ සිට ගුවන් යානයකින් පිටත් වූ පීටර් ඩටන්, ලිබරල් සාමාජිකයින් සහ පක්ෂ ස්වේච්ඡා සේවකයින් 500 ක් පමණ සහභාගී වූ රැලියක් සවස් කාලයේදී පවත්වා තිබූ බවයි වාර්තා වුනේ.