
ඉන්දියාවේ රැඳී සිටින සියළුම පාකිස්තාන ජාතිකයන්ට පැය 48ක් ඇතුළත සිය රටින් පිටව යන ලෙස ඉන්දීය රජය නියෝගකර තිබෙනවා.
දකුණු කාශ්මීරයේ පහල්ගම් හිදී ඊයේ (22) සංචාරකයින් පිරිසක් ඉලක්ක කරගනිමින් සිදුකළ වෙඩිතැබීමට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය රජය මෙම තීරණය ගෙන ඇත්තේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් අද (23) රැස්වූ ජාතික ආරක්ෂාව පිළිබඳ කැබිනට් කමිටු සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

පුද්ගලයින් 26 දෙනෙකුට දිවි අහිමිකරමින් එල්ල වූ මෙම ප්‍රහාරයේ වගකීම මේ දක්වා කිසිවෙකු හෝ භාරගෙන නොමැති වුවත්, ඉස්ලාමීය බෙදුම්වාදී කැරලිකරුවන් විසින් මෙය එල්ලකරන්නට ඇති බවටයි ඉන්දියාව විශ්වාස කරන්නේ.
ඒ අනුව දිල්ලියේ පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ආරක්ෂක හමුදා නිලධාරීන්ට ඉන්දියාවෙන් ඉවත්වීමට සතියක කාලයක් ලබා දී තිබෙනවා.

සාර්ක් නිදහස් වීසා බලපත්‍ර යටතේ පාකිස්තාන ජාතිකයින්ට ඉන්දියාවට පැමිණීම තහනම් කර ඇති අතර, මෙම වීසා බලපත්‍ර යටතේ ඉන්දියාවේ සිටින සෑම පාකිස්තාන ජාතිකයෙකුම පැය 48ක් ඇතුළත ඉන්දියාවෙන් පිටව යන ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ.
මෙහිදී ඉන්දියාව ගත් තවත් ඍජු තීරණයක් වන්නේ පාකිස්තානය සමග දශක ගණනාවක් පැරණි ඉන්දුස් ජල ගිවිසුම දින නියමයක් නොමැතිව අත්හිටුවීමයි.
මේ හේතුවෙන් පාකිස්තානයේ ජල සැපයුමට දැවැන්ත බලපෑමක් එල්ලවන අතර, මිලියන සංඛ්‍යාත ජනතාවට ඉන් ඍජු බලපෑම් එල්ල වනු ඇති.