කුරියර් හරහා ඔබත් මව්බිමට යැවූ iPhone එක නැතිවුණාද ? මහා පරිමාණ ජාවාරමේ සුලමුල හෙළිවෙයි

කුරියර් සේවාවන් හරහා විදෙස් සමාගම් වෙතින් පුද්ගලයන්ට ලැබෙන ජංගම දුරකථන වංචනිකව ලබාගැනීමේ ජාවාරමක් හෙළිකර ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

සිද්ධියට අදාළව සැකකරුවන් 6 දෙනෙකු සහ සොරකම් කළ දුරකථන 16ක් ද සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ.

ලොව සෑම රටකම ව්‍යාප්ත වී ඇති කුරියර් සමාගමක් හරහා පුද්ගලයෙකුට එවූ දුරකථනයක් කටුනායක ගුවන්තොටුපලට ලැබීමෙන් පසු අතුරුදන්වීමක් පිළිබඳ ගුවන්තොටුපල පොලිසියට ලැබීමෙන් අනතුරුවයි මේ පිළිබඳ විමර්ශණ ආරම්භ කරනු ලැබුවේ.

එහිදී සිදුකළ වැඩිදුර විමර්ශණවලදී හෙළිවී ඇත්තේ පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුල මෙලෙස ලැබුනු ජංගම දුරකථන 19ක් සැකකරුවන් විසින් සොරකම් කර ඇති බවටයි.

ඉන් 16ක් සොයා ගැනීමට හැකිවී තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව අදාළ කුරියර් සේවාවේ සුපවයිසර්වරුන් 3 දෙනෙකු සහ එම කුරියර් සේවාවේ භාණ්ඩ බෙදාහැරීමට සම්බන්ධ පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවට​ ලැබෙන භාණ්ඩය පිළිබඳ දැනුවත්ව සිටින කුරියර් සේවාවේ සුපවයිසර්වරුන් භාණ්ඩ බෙදාහරින පුද්ගලයන්ට කරන දැනුම්දීමකට අනුව ගුවන්තොටුපලේ කැමරා නොමැති ස්ථානයකදී අදාළ පාර්සල් කඩා එහි ඇති දුරකථන සොරකම් කරන බවටයි සිදුකළ විමර්ශණවලදී හෙළිවී ඇත්තේ.

මෙම පුද්ගලයන් සොරකම් කළ දුරකථනවල වටිනාකම රුපියල් ලක්ෂ 30කට අධික බවටයි හෙළිවී ඇත්තේ.

අදාළ කුරියර් සමාගමේ වැඩපරික්ෂකවරුන්ගේ උපදෙස් අනුව ලොරිය තුලදී ඇසුරුම් කපා දුරකථනය සොරකම් කරගෙන ඇසුරුම පැවති පරිදි ඇලවීමටයි සැකකරුවන් කටයුතු කර ඇත්තේ.

නැතිවූ දුරකථනය සඳහා රක්ෂණ සමාගම්වලින් මුදල් ලැබෙන බැවින් දුරකතනවල හිමිකරුවන් පොලිසියට පැමිණිලි කිරීමට මැලිකමක් දක්වා ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

කුරියර් සේවය මගින් ගෙන්වාගත් දුරකථනය අස්ථාන වු බව පිළිගෙන රක්‍ෂණයෙන් මුදල් ලබාගැනීමට අකමැතිවූ පුද්ගලයෙකු මිගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර ඇති අතර, ඒ පිළිබඳව පොලීසිය සිදුකල දීර්ඝ විමර්ශනයකින් පසුවයි සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශණ සිදුකරන අතර පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කුරියර් සේවාවක් හරහා මෙලෙස දුරකථන ගෙන්වා එය නොලැබී ඇත්නම් මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශ ස්ථානාධිපතිවරයාගේ 071 40240442 යන දුරකථන අංකයට තොරතුරු ලබාදෙන ලෙසටයි.