
නව පාප්වහන්සේ කෙනෙකු තෝරාපත්කර ගැනීම සදහා සියවස් ගණනක් අනුගමනය කරනු ලබන සාම්ප්‍රධායික ක්‍රමයම අනුගමනය කිරීමට නියමිත බව වතිකානුව පවසනවා.
ඒ වෙනුවෙන් ලොවපුරා වෙසෙන කාඩිනල්තුමන්ලා 252 දෙනෙකු වතිකානුවට රැස්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මොවුන් අතරින් කාදිනල්තුමන්ලා 138 දෙනෙකු නව පාප්වහන්සේ තෝරාගැනීම වෙනුවෙන් ඡන්දය ලබාදීමට සුදුසුකම් ලබනවා.

ඒ අතර අනෙකුත් කාර්දිනල්තුමන්ලා 80 වැනි විය ඉක්මවා යාම හේතුවෙන් ඒ සදහා ඡන්දය දීමට සුදුසුකම් ලබන්නේ නැහැ.
පාප්වහන්සේ තෝරාගැනීම සිස්ටයින් දේවස්ථානය තුළ ඉතා රහසිගතව සිදුකෙරෙන අතර ඡන්ද විමසීම් මගින් නව පාප්වහන්සේ කෙනෙකු තෝරා ගැනීමට දින කිහිපයක් ගතවිය හැකි බවයි වාර්තා වන්නේ.

ඡන්ද විමසීමට අතීතයේදී සති හෝ මාස ගණනක් ගතවී ඇති අතර ඇතැම් කාදිනල්තුමන්ලා ඡන්ද විමසීම් කාලය අතරතුර මරණයට පවා පත්වීම් සිදුවනවා.
පත්වන නව පාප්වහන්සේට අළුත් නමක් තෝරාගැනීමට අවස්ථාව ඇති අතර පසුව උන්වහන්සේ එම නමින් හැදින්වෙනු ඇති.
න්‍යායාත්මකව, බව්තීස්ම වූ ඕනෑම රෝමානු කතෝලික පුද්ගලයෙකුට පාප්වහන්සේ ලෙස තේරීපත්වීම සඳහා අවස්ථාව ඇති නමුත් ප්‍රායෝගිකව, කාදිනල්වරු තමන්ගේ ම කෙනෙකු පාප්වහන්සේ ලෙස තෝරා ගැනීමට කැමැත්ත දක්වයි.
ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ දකුණු ඇමරිකාවෙන් තේරී පත්වූ පළමු පාප්වහන්සේ වන අතර ඓතිහාසිකවම කාදිනල්වරු යුරෝපීය ජාතිකයෙකු හෝ විශේෂයෙන්ම ඉතාලි ජාතිකයෙකු ලෙස තෝරාගැනීම සිදුවනවා.
මේ දක්වා තේරීපත්වූ පාප්වහන්සේලා 266 දෙනෙකු අතරින් 217 දෙනෙකුම ඉතාලියෙන් පැමිණි අය වූ අතර මෙවරද ඉතාලි ජාතිකයෙකු පාප්වහන්සේ ලෙස පත්වීමට බොහෝදුරට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.