Search

ඉන්දුනීසියා-රුසියා ගුවන් යානා කතාව බොරුවක් වෙයි

ඉන්දුනීසියාවේ කඳවුරුවල රුසියානු ගුවන් යානා නොමැති බව ඔස්ට්‍රේලියා ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ල්ස් අද තහවුරු කළා. 

ඉන්දුනීසියාවේ දිගු දුර ගුවන් යානා ස්ථානගත කරන ලෙස රුසියාව කළ ඉල්ලීම පිළිබඳ පැහැදිලි කිරීමක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා පසුගියදා අවධාරණය කළා.

සන්ධාන නායක පීටර් ඩටන් කළ අනාවරණයකට අනුවයි අග්‍රාමාත්‍ය ඇල්බනීස් ඉන්දුනීසියා රජයේ ස්ථාවරය පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටියේ.

ඔස්ට්‍රේලියාවේ ඩාවින් සිට කිලෝමීටර් 1300 ක් දුරින් පිහිටි ඉන්දුනීසියාවේ පැපුවා පළාතේ ගුවන් යානා ස්ථාපිත කර ගන්නා ලෙස රුසියාව ඉල්ලීම් කර ඇති බවයි පසුගියදා එක්සත් ජනපද හමුදා වෙබ් අඩවියක් වන ජේන්ස් වාර්තා කර සිටියේ.

එහෙත් ඔස්ට්‍රේලියා ආරක්ෂක අමාත්‍ය හා නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ඉන්දුනීසියා රජය  විසින් එම වාර්තාව ප්‍රතික්ෂේප කරන බවයි.

රුසියානු ගුවන් යානා එහි රැඳී සිටීමේ අපේක්ෂාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ බවද ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළා.

ඉන්දුනීසියා ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්තෝ රුසියාවේ ඉල්ලීම ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කළ බව ඔස්ට්‍රේලියා සන්ධාන නායක පීටර් ඩටන් කළ ප්‍රකාශය ආරක්ෂක අමාත්‍යවරයා දැඩි ලෙස හෙළාදැක තිබෙනවා.

 ඔස්ට්‍රේලියාවේ විපක්ෂ නායකවරයා ඉන්දුනීසියාවේ ජනාධිපති නොකියූ දෙයක් කිම සම්පූර්ණයෙන්ම වැරදි බව ඔප්පු වී ඇති බවයි ඔස්ට්‍රේලියා ආරක්ෂක අමාත්‍යවරයා තරයේ කියාසිටියේ.