Search

ශ්‍රී ලංකාව 2014 T20 ලෝක කුසලානය ජයගෙන අදට වසර 11 ක්

ශ්‍රී ලංකාව 2014 T20 ලෝක කුසලානය ජයගෙන අදට වසර 11 ක් සපිරෙනවා.

මීට පෙර 2009 සහ 2012 යන වසරවල පැවති T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිවලදී අවසන් මහා තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තද එම තරග ජයගැනීමට හැකියාව ලැබුණේ නැහැ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකිනෙකා හමුවූ 2014 T20 ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වුණේ බංග්ලාදේශයේ මීර්පූර් හි Shere Bangla ජාතික ක්‍රීඩාංගණයේදීයි.

එදින කාසියේ වාසිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අවසරයෙන් පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 04 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 130 ක් පමණයි.

ලසිත් මාලිංග ඇතුලු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම එදා ලෝකයේම අවධානය දිනා ගනු ලැබුවා.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ විරාට් කෝලි ලකුණු 77 ක් රැස් කළා.

ලකුණු 131 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 05 ක් තුළ එම ඉලක්කය පසුකර යමින් සිය කුළුදුල් T20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක නිරත වූ කුමාර් සංගක්කාර ලකුණු 52 ක් රැස් කළා.

අවසන් මහා තරගයේ වීරයාගේ සම්මානය කුමාර් සංගක්කාරට හිමිවූ අතර තරගාවලියේ වීරයා බවට පත්වූයේ විරාට් කෝලියි.