
මධ්‍යම මියන්මාරයේ ඊයේ (28) ඇතිවූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 694 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම භූ කම්පනයෙන් පුද්ගලයින් 1,670 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.
මියන්මාරයේ පැරණි අගනගරයක් වූ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් එරට වේලාවෙන් පස්වරු 12:50ට පමණ ඇතිවූ මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 7.7ක් ලෙස සටහන් වී තිබුණා.

මේ අතර එම භූ කම්පනයෙන් මිනිත්තු කිහිපයකට පසු රික්ටර් මාපක අගය 6.4 ක ප්‍රබලත්වයකින් යුත් පසු කම්පන තත්ත්වයක් ද ඇතිවී තිබෙන බවයි දැක්වෙන්නේ.
මෙම භූ කම්පනවල ප්‍රබලත්වය අසල්වැසි තායිලන්තයේ බැංකොක් නුවරට ද දැනී තිබෙනවා.

ඒ හේතුවෙන් මියන්මාරයේ මෙන්ම බැංකොක් නුවර ගොඩනැගිලි කිහිපයකට දැඩි අලාභ හානි සිදුවී ඇති බව වැඩිදුරටත් සදහන් වනවා.
විශාල පිරිසක් සුන්බුන් අතර තවමත් සිරවී සිටින බවයි සහන සේවා කණ්ඩායම් පවසන්නේ.
එබැවින් මෙම භූමිකම්පාවේ මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවෙනවා.