
2025 ඔස්ට්‍රේලියා ෆෙඩරල් අයවැය මෙල්බන් වේලාවෙන් අද (25) රාත්‍රී 07.30 ට කැන්බරා හි ෆෙඩරල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.
ඉදිරි ෆෙඩරල් මැතිවරණයත් සමග ලේබර් රජය ගෙන එන 2025 වසරේ අයවැය මහජනතාවට සතුටුදායක එකක් වනු ඇති බවයි විශ්ලේෂකයින්ගේ මතය වන්නේ.
බලශක්ති බිල්පත් සහන, බදු කප්පාදු, ලාභදායී child care මධ්‍යස්ථාන, නොමිලේ TAFE මෙන්ම කුලී ආධාර වැනි සහන රැසක් අයවැයෙන් ලබාදෙන බවට අගමැති ඇන්තනී ඇල්බනීස් මැතිවරණ රැළිවලදී පවසා තිබෙනවා.

ඒ අනුව මෙවර ෆෙඩරල් අයවැයෙන් විදුලි බිල්පත් සදහා සහන මෙන්ම Bulk Billing ක්‍රමවේදය සදහාද ඔස්ට්‍රේලියානුවන්ට සහන රැසක් සැලසෙනු ඇති.
ඊට අමතරව ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය (PBS) යටතේ ඔස්ට්‍රේලියානුවන්ට අත්‍යවශ්‍ය ඖෂධ රැසක් සදහා සහන හිමි වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

එමෙන්ම මෙවර අයවැයෙන් ශිෂ්‍ය ණය සහ Childcare සේවාවන් සදහාද විශාල සහන රැසක් ලබාදීමට ද පාලක කම්කරු පක්ෂය සූදානම් වන බවයි වාර්තා පළ වන්නේ.
අද ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.
ඒ අනුව රජය සමඟ එක්ව නිවසක් මිලයට ගැනීමේදී තැබිය යුතු ඇප මුදල සහ උකස් ණය ප්‍රමාණය අඩු කිරීමට නියමිතයි.
දැනට එම ක්‍රමය යටතේ ෆෙඩරල් රජය විසින් දරන පිරිවැය සියයට 30 ක් වන අතර එය සියයට 40 ක් දක්වා ඉහළ දැමෙනු ඇති.
මේ අතර නිවසක් මිලදී ගැනීමේදී තිබිය යුතු ආදායම (Income Cap) ප්‍රමාණයද අයවැයෙන් ඉහළ යනු ඇති බවට වාර්තා පළ වනවා.
ඒ අනුව සිඩ්නි නගරයේ දැනට ඩොලර් 950,000 ක් ව පවතින එය ඩොලර් ලක්ෂ 13 දක්වා ද මෙල්බන් නගරයේ දැනට ඩොලර් 850,000 ක් ව පවතින එය ඩොලර් 950,000 දක්වා ද ඉහළ දැමීමටයි සැලසුම් කර ඇත්තේ.