
රට තුළ ජාතික ආරක්ෂාව නගාසිටුවීම වෙනුවෙන් සහය දීමට ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.
ඒ අනුව ඔස්ට්‍රේලියා දේශසීමා බලකාය (ABF) මෙල්බන් සහ Geelong හි ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ Detector Dog වැඩසටහන සඳහා සහය ලබාදෙන ලෙසටයි.
අදාළ වැඩසටහන සති 09 ක පමණ වයස් සීමාවේ පසුවන සුනඛයින් යොදා ගනු ලබන අතර ඔවුන්ව තාවකාලිකව රැකබලා ගැනීම සදහා නිවෙස් වෙත ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ හරහා එම සුනඛයන්ට මිනිසුන් සහ සතුන් සමඟ ගනුදෙනු කිරීම සහ නව පරිසරයට අනුගත වීම වැනි අත්දැකීම් රැසක් ලැබෙන බවද සදහන්.
අදාළ කාලසිමාව තුළදී එම සුනඛයන් සදහා අවශ්‍ය ආහාර පාන, වෛද්‍ය පහසුකම් ඇතුලු ඔවුන් රැකබලා ගැනීම වෙනුවෙන් වැය වන සියලු වියදම් දරනු ලබන්නේ ඔස්ට්‍රේලියා දේශසීමා බලකාය විසින් වීමද විශේෂත්වයක්.

පුහුණුව අවසානයේදී මෙම සුනඛයන් නැව්, ගුවන් යානා, ගුවන් තොටුපළවල්, වරාය, භාණ්ඩ ගබඩා සහ තැපැල් මධ්‍යස්ථාන වැනි ස්ථානවලට යෙදවීමටයි සැලසුම් කර ඇත්තේ.
මෙම සුනඛයන්ට නීති විරෝධී මත්ද්‍රව්‍ය, ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය මෙන්ම මුදල් පවා හදුනා ගැනීමට හැකියි.
අදාළ වැඩසටහන සදහා යොදාගනු ලබන්නේ Labrador Retrievers වර්ගයේ සුනඛයන් පමණක් වන බවයි දැක්වෙන්නේ.