
ශ්‍රී ලංකාව 1996 එක්දින ලෝක කුසලානය ජය ගෙන අදට (මාර්තු 17) වසර 29 ක් සපිරෙනවා.
එතැන් පටන් ශ්‍රී ලංකාව 2007 සහ 2011 යන එක්දින ලෝක කුසලාන තරගාවලිවලදී අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවද එම තරග දෙකේදීම ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක් උරුම කරගැනීමට සිදුවුණා.
ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් එකම එක්දින ලෝක කුසලානය වන්නේද මෙයයි.

ශ්‍රී ලංකාවට කුළුදුල් එක්දින ලෝක කුසලානය අත්කර දුන් එම තරගය පැවැත්වුණේ 1996 වර්ෂයේ මාර්තු 17 වනදා පකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදීයි.
එම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අවසරයෙන් පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේදී සියලුදෙනා දැවී රැස් කර ගත හැකිවූයේ ලකුණු 241 ක් පමණයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ උප නායක අරවින්ද ද සිල්වා ලකුණු 42 කට කඩුලු 03 ක් බිඳ හෙළීමට සමත් වුණා.
ලකුණු 242 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 03 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.
ඒ අනුව 1996 Wills කුසලානයේ ජය හිමි වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අරවින්ද ද සිල්වා නොදැවී ලකුණු 107 ක් රැස් කළා.
ඊට අමතරව අසංක ගුරුසිංහ ලකුණු 65 ක් ද නායක අර්ජුන රණතුංග ලකුණු 47 ක් ද රැස් කිරීමට සමත්කම් දැක්වූවා.
අවසන් මහා තරගයේ වීරයාගේ සම්මානය අරවින්ද ද සිල්වාට හිමිවූ අතර තරගාවලියේ වීරයා බවට පත් වූයේ සනත් ජයසූරියයි.