
නීති විරෝධී දුම්කොළ වෙළඳාම මර්ධනය කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියා රජය තවත් අරමුදලක් සපයා තිබෙනවා.
ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 156.7 ක් ෆෙඩරල් රජය විසින් සැපයූ බවයි වාර්තා වන්නේ.
එම මුදල ෆෙඩරල් පොලීසියට, දේශසීමා බලකායට, ඔස්ට්‍රේලියානු අපරාධ බුද්ධි කොමසාරිස්වරයා වෙත හා වෙනත් අදාල ආයතන සඳහා සපයනු ලබන බව රජය නිවේදනය කළා.

ඔස්ට්‍රේලියාවේ දුම්පානය කරන්නන් හට අඩු මුදලට නීති විරෝධී දුම් වැටි ලබාදී ආදායම් ඉහළයාමෙන් අපරාධ කල්ලි තුළ මුදල් ගැවසීම හේතුවෙන් ඔවුන් සාපරාධී ක්‍රියාවල බහුලව යෙදී සිටිනවා.
මෙවැනි අපරාධ කල්ලි විසින් පසුගියදා වික්ටෝරියා සිගරට් වෙළඳසැල් සහ වෙනත් ස්ථාන රැසකට වෙඩි තැබීම් සිදුකර ඇති අතර ඉන් කාන්තාවක් මියගිය බවටයි වාර්තා පළවූයේ.

මේ අතර දුම්කොළ භාවිතය ඔස්ට්‍රේලියාවෙන් තුරන් කිරීම වෙනුවෙන් පනවා ඇති බද්දට ද මෙම නීති විරෝධී දුම්කොළ භාවිතය දැඩි තර්ජනයක් බව ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
ඔස්ට්‍රේලියාවේ මේ වනවිට සිගරට් සඳහා සියයට 70 ක නව බද්දක් පනවා තිබෙනවා.