Search

වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු අත්අඩංගුවට ගන්නැයි – රට පුරා වෛද්‍යවරු වැඩවර්ජනයක

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධියට විරෝධය පළකරමින් අද දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසනවා.

ඒ අනුව අද උදෑසන 8 සිට පැය 24ක කාලයක් ඔවුන් මෙම වර්ජනයේ නිරත වනු ඇති.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන 32 හැවිරිදි වෛද්‍යවරියක ඊයේ රාත්‍රියේ සුපුරුදු පරිදි පොරොත්තු රාජකාරී සඳහා එම රෝහලේ සේවයට වාර්තාකර තිබුණා.

සිය පොරොත්තු රාජකාරී අවසන් කළ අදාළ වෛද්‍යවරිය රාත්‍රී 7ට පමණ රෝහලේ සිට ඊට ඉදිරිපසින් පිහිටි විශේෂඥ වෛද්‍ය නිලධාරීන් පමණක් පදිංචි වී සිටින නිළ නිවාසය දක්වා ගමන්කර තිබෙනවා.

එහිදී වෛද්‍යවරිය සිය නිල නිවසට ඇතුළුවන අවස්ථාවේ පසුපසින් පැමිණි කිසියම් පුද්ගලයෙකු එක්වරම පිහියක් ගෙලට තබා ඇය බියගන්වා ඇති බව වාර්තා වනවා.

අනතුරුව, වෛද්‍යවරියට කෑ ගැසීමට නොහැකි අයුරින් තදින් මුඛය බැඳ, ඇය විසින්ම නිල නිවසේ දොර විවෘත කරවාගත් අදාළ පුද්ගලයා, වෛද්‍යවරිය රැගෙන නිවස තුළට ඇතුළු වී කිසිවෙකුටත් ශබ්දය නොඇසෙන සේ දොර වසා දමා තිබෙනවා.

එහිදී සැකකරු අදාළ වෛද්‍යවරියගේ දෑත් බැඳ, දෑස් වසා, කෘෘර ලෙස දූෂණයට ලක්කර ඇති බවයි මේ වනවිට සිදුකළ පරීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ.

අනතුරුව සැකකාර පුද්ගලයා පළා ගොස් ඇත්තේ වෛද්‍යවරියගේ ජංගම දුරකථනය ද පැහැරගෙනයි.

සැකකරු හමුදාවෙන් පළා ගිය අයකු බවට හඳුනාගෙන ඇති අතර ඔහු සොයා පොලිස් කණ්ඩායම් පහක් මඟින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වනවා.